අවසන් තරගයේ වෙනස්ම පිතිකරණයක් !

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තුන් වැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලිය, තරග 2 ට 1 ක් ලෙස ජය ගත්තේ, නවසීලන්තයයි. තුන්වැනි තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී. ‍

කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්‍ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු. පැතුම් නිස්සංක අද සිය 16 වැනි එක්දින අර්ධ ශතකය ලබා ගත්තා. ශ්‍රී ලංකා ඉනිම ලකුණු 66ක් ලෙස සටහන් වෙද්දි, පැතුම් නිස්සංක ආබාධයක් හේතුවෙන් තාවකාලිකව පිටියෙන් ඉවත්වුණා.

අනතුරුව පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු දැවී ගියේ ලකුණු 17 කටයි. කුසල් මෙන්ඩිස් තම 33 වැනි අර්ධ ශතකය ද සමගින්, ලකුණු 54 ක් රැස් කළා. කමිඳු මෙන්ඩිස් ලකුණු 46 යි. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 4 ක් දැවී යාමත් සමග පැතුම් නිස්සංක යළි පන්දුවට පහරදිම සඳහා පිටියට පැමිණියා.

ඔහු, ලකුණු 66 ක් ලබා සිටියදී දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසයි. ජනිත් ලියනගේ තම සිව් වැනි එක් දින අර්ධ ශතකය සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53 ක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 290 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී මැට් හෙන්රි කඩුලු 4 ක් බිඳ හෙලුවා. ඔක්ලන්ඩ් හි ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකාව එක්දින තරගයක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙයයි.

තරගය ජය ගැනීම සඳහා ලකුණු 291 ක ඉලක්කයක් සමග නවසීලන්ත ඉනිම ආරම්භ කළේ, විල් යන්ග් සහ රචීන් රවින්ද්‍ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 3 ක් වන විට විල් යන්ග් ලකුණු නොලබා දැවී ගියා. රචින් රවින්ද්‍ර රැස් කළේ, එක ලකුණක් පමණයි.

නවසීලන්ත ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 21 ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු වන්නන් සමත් වුණා. නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණුසංඛ්‍යාවක් රැස් කළේ මාර්ක් චැප්මන්. ඔහු ලකුණු 81 ක් ලබා ගත්තා.

නවසීලන්තය, පන්දුවාර 29 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 150 ක්. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ සහ එෂාන් මාලිංග කඩුලු 3 බැගින් දවා ගත්තා. ශ්‍රී ලංකාව තරගයෙන් ලකුණු 140 ක ජයක් වාර්තා කළා.

එමෙන්ම, ශ්‍රී ලංකාව, නවසීලන්තයට එරෙහිව එක්දින තරගයක් ජයගත් වැඩිම තුන්වැනි ලකුණු පරතරය මෙයයි. තරගයේ වීරයා අසිත ප්‍රනාන්දු. තරගාවලියේ වීරයා සම්මානය මැට් හෙන්රිට හිමි වුණා.

Back To Top