ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලිය අද දිනයේදී ඩුබායිහිදී ආරම්භ විය. අද දිනයේදී තරග 2ක් පැවැත්වූ අතර එම තරග වලින් ජයග්‍රහණ හිමිකර ගැනීමට ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ පාකිස්ථාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් සමත් වූහ.
ඉන්දීය යොවුන් කණ්ඩායම අද දිනයේදී තරග බිමට පිවිසියේ ඇෆ්ඝනිස්තාන යොවුන් කණ්ඩායමට එරෙහිවයි. කාසිය වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන්හ. ඒ ආරාධනයෙන් පිටියට පිවිසෙන ඇෆ්ඝනිස්තාන වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමට පන්දුවාර පනහ අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 173 ක් පමණි. ඉනීමේ වැඩිම ලකුණලාභියා වූ ජම්ෂිඩ් සද්රාන් ලකුණු 43ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ආශින් කුල්කරනි හා රාජ් ලුම්බිණි කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වූහ.
පහසු ඉලක්කය හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසෙන ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර තිස්හතයි පන්දු තුනක් අවසානයේදී කඩලු තුනක් පමණක් දැවී ලකුණු 174ක් රැස් කරමින් තරඟයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම් වෙනුවෙන් ආශින් කුල්කරනි පන්දු 105කදී නොදැවී ලකුණු 70ක්ද මුෂීර් ඛාන් පන්දු 53කදී නොදැවී ලකුණු 48ක් රැස්කරමින් ජයග්‍රහණය කරා සිය කණ්ඩායම් රැගෙන ගියහ.
අද දිනයට අදාළ දෙවන තරගය වෙනුවෙන් පාකිස්ථාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ නේපාල වයස අවුරුදු 19 මෙන් පහළ කණ්ඩායම තරඟ බිමට අවතීර්ණ විය. මෙම තරඟයේද කාසිය වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදී නේපාල කණ්ඩායමට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසෙන නේපාල කණ්ඩායමට පන්දුවාර හතළිස් හතයි පන්දු දෙකක් තුළ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි විය ලකුණු 152 ක් පමණි. ලකුණු පනස් එකක් රැස් කිරීමට සමත් වූයේ හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමගිනි. පකිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මොහොමඩ් සීෂාන් පන්දුවාර නමයයි පන්දු දෙකක් තුළ ලකුණු 19කට කඩුලු හයක් දවා ගැනීමට සමත් විය.
පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසෙන පාකිස්ථාන වයස අවුරුදු දහනමයෙන් පහළ කණ්ඩායම පන්දුවාර 26 පන්දු දෙකක් අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී තරඟයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් විය. එහිදී අසාන් අවායිස් නොදැවී ලකුණු 56ක්ද නායක සාඩ් බෙග් ලකුණු 50ක්ද රැස්කිරීමට සමත් වූයේ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යමිනි. හෙට දිනයේදී තවත් තරග 2ක් පැවැත්වෙන අතර ඒ බංග්ලාදේශයත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර තරගය සහ ජපානයත් ශ්‍රී ලංකාවත් අතර තරගයයි.