[vc_row][vc_column][vc_column_text]වසර 15 ක් පුරා තම වගකීම උපරිමයෙන් ඉටු කළ ක්‍රීඩකයෙක් ලෙස උපුල් තරංග අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේය. ඒ “ඕනෑම යහපත් දෙයක අවසානයක් ඇත.” යැයි සටහනක් තම නිල ෆේස්බුක් ගිණුමෙහි සටහන් කරමිනි.
2004 වර්ෂයේ සුනාමි ව්‍යසනයට හසුවීමට පෙර පැවති වයස අවුරුදු 19න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය උපුල් ගේ ක්‍රිකට් දිවියේ හැරවුම් ලක්ෂයයි. එහිදී දැක්වූ දක්ෂතා නිසාම උපුල් තරංග ට ශ්‍රි ලංකා A කණ්ඩායමේ අවස්ථාව හිමිවිය. නමුත් වයස 15දී අම්බලන්ගොඩ සිංහ ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් පලමු පෙල තරග බිමට එක් වූ ඔහු අවුරුදු 15න් 17න් සහ 19න් පහල ජාතික කණ්ඩායම් වල ද නිත්‍ය සාමාජිකයෙකුව සිටියේය.
සුනාමි ව්‍යසනයට තම නිවස පමණක් නොව තමන් පණ මෙන් ආදරය කළ ක්‍රිකට් උපාංග ද අහිමි වූ විට දී කුමා සංගක්කාර ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩා උපාංග නිර්ලෝභීව ලබාදුන් බව උපුල් නිහතමානීව සිහිපත් කරන්නේය. සුනාමියට තම උපාංග අහිමි කළ හැකි වුව ද තම දක්ෂතාවයන් උදුරා ගත නොහැකි බව සනාථ කරමින් ඔහු 2005 ජුලි මාසයේදී පළමු වරට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අවස්ථාව හිමි කර ගත්තේය .
එතැන් පටන් එක්දින ශතක 15ක් සමඟ ලකුණු 6951ක් මෙන්ම ටෙස්ට් ශතක 3 කින් ද උපුල් තරංග තම ක්‍රිකට් දිවිය වර්ණවත් කිරීමට සමත් විය. ඒ අතර එක්දින පිටියේ ද්විත්ව ශතක සබඳතා 7ක් වෙනුවෙන් තම දායකත්වය ලබා දීමට සමත් වීම ද ඔහුගේ දක්ෂතාවයට එක් නිදසුනකි. 2006 වර්ෂයේ එංගලන්තයේ දී එංගලන්තයට එරෙහිව තරග 5-0 ක් ලෙස ජයග්‍රහණය කළ තරගාවලියේ දී ශතක දෙකක් සමඟ දැක් වූ දක්ෂතවය, 2011 ලෝක කුසලාන තරගාවලියේ දී ශතක දෙකක් සමඟ දැක් වූ දක්ෂතාවයන්, 2013 වර්ෂයේ ඉන්දීය කණ්ඩායමට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 174 මෙන්ම 2017 වර්ෂයේ දකුණු අප්‍රිකානු කණ්ඩායම ට එරෙහිව නායකත්වයේ ඉනිමක් දියත් කරමින් රැස් කළ අගනා ශතකය ද ලෝක ක්‍රිකට් රසිකයන්ගේ මතකයේ සදා රැඳෙනු ඇත.
උපුල් තරංග යනු වාසනාව එක අතෙකින් මෙන්ම අනෙක් අතින් අවාසනාව ද රැගෙන ආ ක්‍රීඩකයෙක් දැයි සිතේ. පෞද්ගලික කරුණක් නිසා ජ්‍යෙෂ්ට ක්‍රීඩකයෙක් සමග ගැටලුවක් ඇති වූයේ යැයි කියන නිසා ඔහුට කාලයක් කණ්ඩායමේ ස්ථානය අහිමි වූ බව ද කියවේ. (එවැනි ගැටලුවක් සැබෑවටම ඇති වූයේ නම්, එම ගැටලු කිසිවක් පිටිය තුළ ට ගෙන ඒමට හෝ ප්‍රසිද්ධියේ කෙළ ගසා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් උපුල් ට මෙන්ම අනෙක් ක්‍රීඩකයන් ට ද ගෞරවය හිමි විය යුතුමය)
2011 වර්ෂයේ සාර්ථක ලෝක කුසලාන තරගාවලියකින් පසුව නැවත අවාසනාව උපුල් සොයා පැමිණියේය. ඒ තහනම් උත්තේජක භාවිතා කිරිම සම්බන්ධයෙන් වූ චෝදනාවකට ඔහු ට මාස තුනක තරග තහනමක් ද පනවමිනි. ( ඒ ඖෂධ ඔහුට ලබාදුන්නේ යැයි කියන පුද්ගලයා පිළිබඳව ද සමාජයේ විටින් විට කතාබහ ඇති ව තිබේ) මෙලෙස විවිධ කාරණා නිසා කණඩායමේ නිත්‍ය ස්ථානයක් වෙනුවෙන් උපුල් තරංග ට සටන් කරන්නට සිදු වූයේ තම පිත්ත සමඟය. නිහඬව සියල්ල දරා ගැනීමට ගොස් ඔහුට බොහෝ දේ අහිමි වූවා දැයි සිතේ. නමුත් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වය ඔහුට යළි හිමිවන්නේ නායකත්වය ද සමගිනි. ජ්‍යෙෂ්ටයින් නොමැති නවක කණ්ඩායමක වගකීම ඔහු භාර ගන්නේය. තරග ජයග්‍රහණය කරන්නට ඔහු ඇතැම් විටෙක තනිව උත්සාහ කළේය. එවන් නායකයෙක් ට කණ්ඩායමේ සහයෝගය ඒ අයුරින්ම හිමි වූයේ ද යන්න ගැටලුවකි. ඊට හොඳම උදාහරණයක් නම් 2017 ශූරයන් ගේ කුසලාන තරගාවලියේ එක් තරගයක දී පන්දුවාර 50අවසන් කිරීමට ලෝක පූජිත පන්දු යවන්නන් පවා සිටිය දී අමතර විනාඩි 35ක් පමණ වැය වී තිබීමයි. ඊට උපුල් තරංග වන්දි ගෙවූයේ තරග දෙකක තහනමකට ද ලක්වෙමිනි.
ඔය අතරතුර වසර ගණනකට පසුව ටෙස්ට් තරග සඳහා ද උපුල් ට අවස්ථාව හිමිවන්නේ ය. ලද විරල අවස්ථාවෙන් උපරිමය ප්‍රදර්ශනය කල ඔහු වසර 10කුත් මාස 05 කට පසුව ටෙස්ට් ශතකයක් ද රැස් කළේය. ටෙස්ට් පිටියේ ස්ථාවර වන්නට සූදානම් වූ තරංග ට ඊට අවස්ථාව ලබා නොදෙන බලධාරීන් ඔහුට එක්දින තරග වලට පමණක් අවධානය යොමු කරන ලෙස බලපෑම් කරන්නේ 2019 ලෝක කුසලාන නායකත්වය ද ඔහු වෙත ලබා දෙන බවට කැරට් අලයක් පෙන්වමිනි. ඒ අනුව තරංග ටෙස්ට් තරග වලින් විශ්‍රාම නොගත්ත ද ටෙස්ට් තරග වෙනුවෙන් තමන්ව සලකා නොබලන ලෙස බලධාරින් ගෙන් ඉල්ලීමක් කළේය.නමුත් ලෝක කුසලාන නායකත්වය නොව ඔහුට කණ්ඩායමේ ස්ථානයක් පවා හිමි නොවීය.
මේ සියලු වාසනාවන්ත ,අවාසනාවන්ත සිදුවීම්, කාලවකවානු වලින් පසුව උපුල් තරංග ක්‍රිකට් ක්‍රීඩකයෙක් තම ක්‍රිකට් දිවියේ ගන්නා අසීරුම තීරණය ගැනීමට තීරණය කර ඇත. ඒ තීරණය අද හදිස්සියේ ගත් තීරණයක් ද නොවිය යුතුය. සමකාලීන ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් සමුගන්නා කාලයක ඔහුටත් මේ සමුගැනීමට කාලය යැයි සිතෙන්නට ඇත. පසුගිය දිනෙක ෆර්වීස් මහරූෆ් ගේ ඡායාරූපයක් උපුල් තරංග සමාජ මාධ්‍යයේ පළ කළ මොහොතේ ඊට ප්‍රතිචාර දැක්වූ මහරූෆ් සඳහන් කළ සටහන තරංග ද road safety තරගාවලිය ට එක්වනු ඇති බවට ඉඟියක් විය හැකිය. එමෙන්ම උපුල් ඕස්ට්‍රේලියාවේ ආපනශාලා ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව ද වාර්තා විය. ඒ කුමක් සිදු වුවත්, පසුගිය දා සමාජ මාධ්‍යයේම වාර්තා වූ පරිදි (සත්‍ය අසත්‍ය බව තහවුරු වී නොමැත) උපුල් තරංග මෙරට අතහැර ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කිරීමට තීරණය තිබේ දැයි නොදනිමි. ඔහුගේ තීරණය කුමක් වූවත් උපුල් තරංග නම් දක්ෂ, නිහඬ, නිහතමානී වමත් පිතිකරුවා පිළිබඳව මතකයන් සැබෑ ක්‍රිකට් ලෝලින්ගේ මතක අතර සැමදා රැඳෙනු ඇත.
Upul Tharanga ස්තූතියි 🙏🙏🙏🙏🏏🏏🏏
~ සුපුන් රජිත හෙට්ට්ආරච්චි ~[/vc_column_text][/vc_column][/vc_row]