ඒස් කැපිටල් එක්දින තරගාවලියේ ශූරයෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේගේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්වීය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ප්‍රබල සී.සී.සී. කණ්ඩායමට එරෙහිව 4 ක ජයක් වාර්තා කළ ඒස් කැපිටලන් ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 30 ක තෑගි මල්ලකටද හිමිකම් කීහ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් සී.සී.සී. කණ්ඩායම පන්දුවාර 45.5 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 251 ක් රැස් කර ගැනීමට සමත්විය. එම ඉලක්කය හඹා ගිය ඒස් කැපිටල් පිතිකරුවෝ ඉලක්කය පන්දු 5 ක් සහ කඩුලු 4 ක් ඉතිරිව තිබියදී රැස් කර ගැනීමට සමත්විය.

ඒස් කැපිටල් පිල වෙනුවෙන් සුපිරි පිතිහරඹයක් දියත් කළ සම්මු අශාන් පන්දු 111 කදී නොදැවී ලකුණු 97 ක් ලබා ගත්තේ විශිෂ්ඨ පිතිහරඹයක නියැළෙමිනි. එතරම් කලබලයක් නොදැක්වූ සම්මු තම ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් වර්ණවත් කර ගත්තේය.

ලකුණු හඹා යෑම ආරම්භයේදී පිට පිට පන්දු 2 කදී හිරාන් ජයසුන්දර සහ පවන්ත වීරසිංහ දවා ගැනීමට ඉසුරු උදාන සමත් වුවත්, දෙවැනි කඩුල්ලට එක්වූ තනුක දාබරේ සහ රවීන් ද සිල්වා ලකුණු 59 ක සම්බන්ධතාවක් පැවැත්වූහ. දාබරේගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි සම්මු අශාන් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රවීන් ද සිල්වා සමග ලකුණු 80 ක සම්බන්ධතාවකුත්, සකුන ලියනගේ සමග 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවකුත්, පැවැත්වූහ. වටිනා ඉනිම් ක්‍රීඩා කළ රවීන් ද සිල්වා ලකුණු 38 කුත් සකුන ලියනගේ ලකුණු 25 කුත් රැස් කළහ.

ඉනිමේ 8 වැනි පිතිකරුවා ලෙසින් පිටියට පිවිසි රවිඳු රත්නායක පන්දු 7 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමඟගින් නොදැවී ලකුණු 22 ක් වාර්තා කරමින් ඒස් කැපිටල් ඉනිමේ පසු පෙළ ශක්තිමත් කළේය.

සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන ලකුණු 80 ක් රැස් කරගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය. ඔහුට අමතරව ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 33 ක් සහ අන්ජල බණ්ඩාර 29 ක් වාර්තා කළහ.

මෙම අවසන් මහ තරගයේදී පිතිහරඹයට අමතරව   පන්දු යවමින් ලකුණු 26 කට එක් කඩුල්ලක් දවා ගත් සම්මු අශාන් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය. ඔහුට එම කුසලාන සමග මුදලින් රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදුලක් හිමිවිය.

මීට අමතරව තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස නිගම්බු කණ්ඩායමේ ඩිල්ෂාන් මුණවීර සම්මා දිනා ගත්තේය. ඔහු තරග 8 කදී කඩුලු 16 ක් බිඳ හෙළමින් දක්ෂතම පන්දු යවන්නාට හිමි කුසලාන සමග මුදලින් ලක්ෂ 10 ක මුදලකටද හිමිකම් කීවේය. දක්ෂතම පිතිකරුවා ලෙසින් කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා සමාජයෙ ක්‍රිෂාන් සංජුල සම්මාන දිනා ගත්තේය. ඔහු තරග 7 කදී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 69.4 ක් රඳවා ගනිමින් ලකුණු 347 ක් ලබා ගනිමින් එම සම්මානයට අමතරව මුදලින් රුපියල් ලක්ෂ 10 ක තෑග මුදලද දිනා ගත්තේය.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සඳහා පිදෙන සම්මාන ඒස් කැපිටල් නායක තනුක දාබරේ විසින් දිනා ගනු ලැබීය. ඔහු පන්දු යවමින් කඩුලු 14 ක් සහ පන්දුවට පහර දෙමින් ලකුණු 221 ක් රැස් කර ගනිමින් එම වටිනා සම්මානය හිමිකර ගත්තේය. ඒ වෙනුවෙන් ඔහුට පිරිනැමුණු මුදල රුපියල් ලක්ෂ 15 ක් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනන විධායක කමිටු සාමාජික සහ තරගාවලි සංවිධාන කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංකේත ප්‍රධානයේදී ශූරතාව දිනූ ඒස් කැපිටල් පිලට ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 30 ක මුදලක් ද අනුශූරතාවට පත් සී.සී.සී. ක්‍රීඩා සමාජයට මුදලින් රුපියල් ලක්ෂ 25 ක මුදලක්ද හිමිවිය.

ලකුණු සාරාංශය

සී.සී.සී. පන්දුවාර 45.5 කදී සියලු දෙනා දැවී ලකුණු 251 යි

ලසිත් කෘෘස්පුල්ලේ 33, අන්ජල බණ්ඩාර 29, සොනාල් දිනූෂ 27, චමිඳු විජේසිංහ 23, අශාන් ප්‍රියන්ජන් 15, ඉසුරු උදාන 80, ලක්ෂාන් සඳකැන් 15, නිම්සර අතරගල්ල 55/3, වනුජ සහන් 47/3

ඒස් කැපිටල් පන්දුවාර 49.1 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 254 යි –

සම්මු අශාන් 97*, සකුන ලියනගේ 25, රවිඳු රත්නායක 22*., රවීන් ද සිල්වා 38, තනුක දාබරේ 48, ඉසුරු උදාන 47/2, සොනාල් දිනූෂ 32/2

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මාන දිනූ ඒස් කැපිටල් නායක තනුක දාබරේ එම ශූරතා කුසලාන තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබා ගත් අවස්ථාව.
අවසන්ස මහ තරගයේ වීරයා සම්ම්මාමානය දිනූ ඒස් කැපිටල් පිලේ සම්මු අශාන් එම කුසලාන තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබා ගත් අවස්ථාව.
තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා වූ ඩිල්ෂාන් මුණවීර එම කුසලාන තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබා ගත් අවස්ථාව.
තරගාවලියේ පිතිකරුවා වූ එස්.එස්.සී. කණ්ඩායමේ ක්‍රිෂාන් සංජුල තරගාවලි සංවිධාන කමිටුවේ සභාපති සමන්ත දොඩන්වෙල මහතා අතින් ලබා ගත් අවස්ථාව.
Back To Top