ශ්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 9 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් තරගාවලිය ජයගත්තේ තරග 2 ට 0 ක් ලෙසයි. තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. දිමුත් කරුණාරත්න සහභාගී වූ අවසන් අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරගය ද මෙයයි.
පළමු ඉනිමට ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලකුණු 414ක් රැස් කළා. අද සිව්වන දිනය සඳහා තරගය ආරම්භ කරන විට, ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8 ක් දැවී ලකුණු 211 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 50 ක් රැස් කළේ, සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 21 වැනි අර්ධ ශතකය ද සමගයි. ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 231 කට සීමා වුණා. ඇන්ජලෝ මැතීව්ස් ලකුණු 76යි. පන්දු යැවීමේදී මැතිව් කුනේමන් සහ නේදන් ලයන් කඩුලු 04 බැගින් දවා ගත්තා. තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 75 ක්. ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී එම ඉලක්කය පසු කරමින් තරගයෙන් පහසු ජයක් හිමිකර ගත්තා.
2012 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි දිමුත් කරුණාරත්න වසර 14ක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරමින් තරග 100කට සහභාගී වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග සියයක් ක්‍රීඩා කළ හත්වැනි ක්‍රීඩකයා ලෙසයි, දිමුත් ඉතිහාසයට එක්වුණේ, ඔහු ටෙස්ට් ලකුණු 7222ක් රැස් කළේ, ශතක 16ක් සහ අර්ධශතක 39ක් සමග. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ සිව්වන ක්‍රීඩකයා වන්නේ ද දිමුත් කරුණාරත්න. ශ්‍රී ලංකාව වෙනුවෙන් බිහිවූ සාර්ථකම ආරම්භක පිතිකරුවා ලෙසයි, දිමුත් කරුණාරත්න සැලකෙන්නේ. ඔහු ටෙස්ට් තරග 30කදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබාදුන්නා.