ටෙස්ට් කණ්ඩායමේ ‘කෝඩුකාරයා’ – ප්‍රවීන් ජයවික්‍රම

[vc_row][vc_column][vc_column_text]රවීන් ජයවික්‍රම. නම ඇසුණු විට ටිකක් කනට නුහුරුයි තමයි. ඒත් එයා තමයි ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගත්ත ‘කෝඩු කාරයා’ කියලා කිව්වොත් නිවැරදියි. බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ප්‍රවීන්ගේ මංගල ටෙස්ට් තරගය වුණා. පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේදී ප්‍රවීන්ට හිමි කැප් තොප්පිය ලබා දුන්නෙ ළහිරු තිරිමාන්න. ඒකෙත් පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒ දෙන්නම මොරටු පුරවරයේ ඇති ප්‍රධාන පාසල් දෙකකින් ජාත්‍යන්තරයට පැමිණ සිටින හින්දා.

වමතින් දඟ පන්දු යවන ප්‍රවීන් ගැන ගොඩක් අය දන්නේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලෙන් ක්‍රිකට් පිටියට ආවා කියලා. ඒත් ප්‍රවීන්ගේ මුල්ම පාසල වුණේ කලුතර සිරිකුරුස විදුහල. අවුරුදු 13 න් පහළ වයස් කාණ්ඩයේ ඉඳලා 15 න් පහළ වෙනකම්ම ප්‍රවීන් ක්‍රිකට් ගැහුවේ සිරිකුරුස විදුහලේ. දිස්ත්‍රික් සහ පළාත් තරගවලදි පන්දු යවන්නකු විදියට ප්‍රවීන් දක්වන ලද දක්ෂතා නිසා ඔහු ගැන අවට පාසල් සිටියේ දැඩි අවධානයෙන්.

ප්‍රවීන්ගේ පියා ඉන්ද්‍රජිත් ජයවික්‍රම මහතා. ඔහු මීට වසර 8 කට පමණ පෙර හෘදයාබාධයකින් හදිසියේම ප්‍රවීන් ඇතුළු පවුලේ උදවියගෙන් සමුගන්නවා. එතැන් පටන් පවුලේ සියලු බර කරට ගන්නේ ප්‍රවීන්ගේ අම්මා. නිමාල් පීරිස් මහත්මිය. තම පියා ජීවිකාව කරගෙන යෑම වෙනුවෙන් පවත්වාගෙන ගිය රියදුරු පුහුණු පාසලේ සියළු කටයුතු පවත්වාගෙන යනු ලැබුවෙත් නිමාල් මහත්මියමයි. ප්‍රවීන්ගේ පවුලේ ප්‍රවීන් එක්ක පිරිමි ළමයිම 4 ක්. ඉතුරු තුන්දෙනත් ක්‍රිකට් ක්‍රීඩා කළත් ප්‍රවීන් තරම් ඉදිරියට එන්න ඔවුන්ට හැකියාව ලැබිලා නෑ.

ක්‍රිකට් ක්‍රීඩාවට කොච්චර දක්ෂද කිව්වොත් වයස අවුරුදු 15 ක් තරම් වෙන කොට ප්‍රවීන් ඉස්කෝලෙ අවුරුදු 19 න් පහළ ක්‍රීඩා කිරීමට තරම් හැකියාවකින් යුක්ත වුණා. පන්දු යවන්නෙකු විදියට ප්‍රවීන් දක්වන ලද දක්ෂතා හින්දම ඔහුට ගොඩක් පාසල් වලින් ඇරයුම් ආවා. නමුත් ප්‍රවීන්ගේ අම්මා, පාසල් මාරු කරනවාට අකමැති වුණු හින්දා, මොරටුවට යන්න ප්‍රවීන්ට සාමාන්‍ය පෙළ දක්වා බලාගෙන සිටීමට සිද්ධ වෙනවා.

ක්‍රිකට් වලට තියෙන දක්ෂතාවයත් අධ්‍යාපනයෙන් ලදජයග්‍රහණයත් නිසා උසස් පෙළ හැදෑරීමට ප්‍රවීන් ශාන්ත සෙබස්තියන් විද්‍යාලයට ඇතුළත් වුණා. ප්‍රවීන්ගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නේ ඒ වසරෙ පළමු පෙළ කණ්ඩායම නියෝජනය කරන්න ගත්තට පස්සේ. පළමු වසරෙදිම කඩුලු 90 ක් බිඳ හෙළීමට සමත්වන ප්‍රවීන් එම දක්ෂතාවය හේතුවෙන් වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට සුදුසුකම් ලබන්නේ වයස අවුරුදු 17 ත් තරම් වයසෙදි. ඒ 2016 වසරෙදි.

19 න් පහළ ජාතික කණ්ඩායමට තේරුණාට පස්සේ ප්‍රවීන්ගේ පළමු තරගාවලිය වන්නේ දකුණු අප්‍රිකානු යොවුන් පිල ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරය. ඊට පස්සේ ඒ වසරේදීම එංගලන්තය එක්ක තිබුණු තරගාවලියත් පසුව පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියත් ප්‍රවීන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි වෙනවා.

2017 වසරේදී දකුණු අප්‍රිකාව බලා ගිය ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට සුදුසුකම් ලබන ප්‍රවීන්, එම වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැති තරග සංචාරයට සහ මැලේසියාවේදී පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ද එක්වීමට වරම් ලබනවා. අනතුරුව 2018 වසරේදී නවසීලන්තයේ තිබුණු ලෝක කුසලාන තරගාවලියටත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව ප්‍රවීන්ට උදා වනවා.

යොවුන් කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් ප්‍රවීන්ට හිමි නොවුණත් ලද අවස්ථාවේදී කණ්ඩායම වෙනුවෙන් මොනවහරි කරන්න ප්‍රවීන් සමත් වෙනවා. ඒ අතරින් ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති සිව්දින ටෙස්ට් තරගයේදී දක්වන ලද දක්ෂතාත් 2016 වසරෙ පැවැති ආසියානු කුසලාන තරගාවලියේදී වැඩිම කඩුලු ලාභියාවීම ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.

ජාතික කර්තව්‍යයට උරදීම හේතුවෙන් පාසලේ තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ප්‍රවීන්ට වැඩිය හිමි වුණේ නෑ. කොහොම වුණත් 2017 වසරෙදි ක්‍රීඩා කරන ලද තරග 6 දී කඩුලු 39 ක් සහ 2018 වසරේ පැවැති තරගාවලියේදී තරග 7 කදී කඩුලු 42 ක් දවා ගැනීමට ඔහු සමත් වෙනවා. ඒ අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය යටතේ මහනුවර සහ උතුරු කණ්ඩායම් වලටද ප්‍රවීන් නැතුවම බැරි ක්‍රීඩකයෙක් වෙනවා.

කාලයත් සමඟ පාසල් ක්‍රීඩාවෙන් මුහුකුරා ගිය ප්‍රවීන් අනතුරුව තම ක්‍රීඩා දිවිය ආරම්භ කරනවා. ඒ මුවර්ස් ක්‍රීඩා සමාජයෙන්. ජාතික තේරීම් කමිටුවේ මහත්වරුන්ගේ අවධානය යොමු වෙන්න පටන් ගන්නේ දේශීය ක්‍රීඩා සමාජ තරගාවලිය නියෝජනය කරන්න පටන් ගත්තට පස්සේ. අවසන් වරට පැවැති අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලිය යටතේ තරග 6 කට ක්‍රීඩා කිරීමට වරම් ලබන කුඩා ප්‍රවීන් එහිදී කඩුලු 31 ක් ලබා ගන්නවා. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 91කට දවා ගත්ත කඩුලු 6 තමයි ඔහුගේ හොඳම පන්දු යැවීම එම තරගයෙදී පළමු ඉනිමේදීත් ලකුණු 53 කට කඩුලු 5 ක් බිඳ හෙළන ප්‍රවීන් ප්‍රථම වතාවට සමස්ථ තරගයේදී කඩුලු 11 ක් බිඳ හෙළන්නේ ලකුණු 144 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමින්. මේ වන විට පළමු පෙළ තරග 10 කට ක්‍රීඩා කරලා තියෙන ප්‍රවීන් බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 40 ක්. එහි කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 24.57 ක් ලෙස සටහන් වෙනවා. අන්තර් සමාජ එක්දින තරග 9 කටද ක්‍රීඩා කර ඇති ඔහු එහිදී කඩුලු 17 ක් බිඳ හෙළමින් වත්මන් තේරීම් කමිටුවේ අවධානය දිනා ගැනීමට සමත්ව සිටිනවා.

ටෙස්ට් වරම් ලබන විට ප්‍රවීන්ට වයස 22 යි. ඔහුට තව ගොඩක් දුර යන්න තියෙනවා. මේ සටහන තබන විටත් ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙමින් සිටින නිසා ප්‍රවීන්ට පන්දු යැවීමේ අවස්ථාව හිමි වෙලා නෑ. අපි බලමු කොහොමද ඔහු මේ තරගයේදී බංග්ලාදේශ පිතිකරුවන්ටව මෙල්ල කරගන්නේ කියලා. ප්‍රවීන්ට ලොකු බලාපොරොත්තු ඇති. ඒ සියල්ල රඳා පවතින්නේ ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කරන කැප වීමෙන්. කොහොම වුණත් ප්‍රවීන්ගේ ඒ බලාපොරොත්තු වලට ශක්තියක් දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිරන්තරයෙන්ම සැදී පැහැදී සිටිනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top