තුන්වැනි දඟ පන්දු යවන්නා වෙන්න හොඳම කෙනා වෙල්ලාලගේ – උපුල් තරංග

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ක්‍රියාත්මක ඇමරිකානු සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි තණතීරු තරමක් මන්දගාමී වනු ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඇතැම් අවස්ථාවන්හිදී දඟ පන්දු යවන්නන් තිදෙනකු ක්‍රීඩා කරවීමට සිදුවුවහොත් එම අවස්ථාව දුනිත් වෙල්ලාලගේ වෙත ලබා දීමේ අරමුණින් ඔහුව ලෝක කුසලාන තරගාවලිය සදහා වන කණ්ඩායමට නම් කිරීමට කටයුතු යෙදූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග සඳහන් කර සිටියේය.

වමතින් දඟ පන්දු යවන දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක් ටෙස්ට් තරගයකට සහ එක්දින තරග 21 කට ක්‍රීඩා කර ඇතත් තවමත් විස්සයි-20 ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කර නොමැත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා නම් කරන ලද 25 දෙනෙකුගෛන් සමන්විත සංචිතයේ වෙල්ලාලගේට වඩා වැඩි තරග අත්දැකීම් ඇති ක්‍රීඩකයින් සිටියද ඒ අවස්ථාව වෙල්ලාලගේ වෙත ලබා දීම බොහෝ දෙනාගේ අවධානය යොමුවීමට තරම් කරුණක් බවට පත්විය.

තරගාවලියට නම් කෙරුණු සංචිතය සම්බන්ධයෙන් වැඩිදුරට කරුණු පැහැදිළි කිරීම වෙනුවෙන් අද (13 වැනිදා) පෙරවරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව තේරීම් කමිටු සභාපතිවරයාගෙන් කරන ලද විමසීමේදී ඔහු ඉහත අදහස් පළ කර සිටියේය.

මෙහිදී ඒ පිිළිබඳව උපුල් තරංග වැඩිදුරටත් කරුණු දක්වා සිටියේ මේ අයුරිනි.

“දුනිත්ව කණ්ඩායමට එකතු කරද්දී ගොඩක් දේවල් බැලුවා. විශේෂයෙන් ඇමරිකාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් වල කන්ඩිෂන් එක්ක බලද්දී ගොඩක් විදියට එන වාර්තා වල තියෙන්නේ විකට්ස් ටිකක් මන්දගාමී වෙයි කියලා. සමහර වෙලාවට ලෝක කුසලානයෙදී අපිට දඟ පන්දු යවන්නන් තුන්දෙනෙක් එක්කත් යන්න චාන්ස් එකක් එයි. අපි ඒක නිසා තමයි ඒ ඔප්ෂන් එක විදියට දුනිත්ව ගත්තේ. මොකද ඔහුට පන්දුවට පහර දෙන්නත් පුලුවන්. ඒ වගේම විශේෂයෙන් ම වමතින් දඟ පන්දු යවන හින්දා ඔහුව ගොඩක් වෙලාවට පවර් ප්ලෙ එක ඇතුළේ යූස් කරන්න වෙලාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක හින්දා තමයි අපි ඔහුව සංචිතයට ඇතුළත් කළේ“ යැයි තරංග සදහන් කර සිටියි.

“දුනිත් මුල් ප්ලෑන්ස් වල හිටියේ නෑ කියලා කියන්න බෑ. නිතරම ළඟම හිටියා. හැබැයි අවාසනයේ අපි ක්‍රීඩා කළේ දඟ පන්දු යවන්නන් දෙන්නෙක් එක්ක. මොකද අපි බැලුවේ වනිඳු නැති වුණොත් එහෙම අපිට ඉන්න විකට් ටේකින් ඔප්ෂන් එක කවුද කියලා. ඔහු ඔහුට හම්බවෙන එක්දින තරග වලද වුණත් අවස්ථාව ලැබෙන්නේ ප්‍රධාන පන්දු යවන්නන් දෙන්නාා ක්‍රීඩා කළේ නැති වුණොත් තමයි. ඒ ඔහු සෑම අවස්ථාවකදම ඔහු හෙදින් කරලා පෙන්වලා තියෙනවා“ යැයි තමන් ගනු ලැබූ තීරණය වඩාත් සාධාරණීය කරණය කිරීම සඳහා තේරීම් කමිටු සභාපතිවරයා උත්සුක වූවේය.

මේ දිනවල ඉන්දියාවේ ක්‍රියාත්මක ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී බොහෝමයක් තරග ලකුණු 200 – 220 සීමාව ඉක්මවාලමින් නිමාවට පත්වීම කැපී පෙනුණු අතර එහිදී පන්දුවට වැරෙන් පහර දෙන ක්‍රීඩකයින්ගේ දක්ෂතා වැඩියෙන් කැපී පෙනෙනි. එහෙත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වන්නේ වේගයෙන් පන්දුවට පහර දිය හැකි හෙවත් පවර් හිටර්ස්වරුන් ලෙසින් නම් දරා සිටින කුසල් ජනිත් පෙරේරා සහ භානුක රාජපක්ෂ ප්‍රධාන සංචිතයට නම් නොකරමිනි. මොවුන් දෙදෙනා අතරින් භානුක සංචාරය සඳහා අතිරේක ක්‍රීඩකයකු ලෙසින් සහභාගවන නමුත් ඔහු පළමු 15 දෙනා අතරට ඇතුළත්ව නොමැත. මේ පිළිබඳවද අද දිනයේදී මාධ්‍ය විසින් තේරීම් කමිටුව හමුවේ ප්‍රශ්න ඉදිරිපත් කර සිටියේය.

“අපි නම් කරපු ක්‍රීඩකයින් 15 දෙනා ගත්තහම අපි විශ්වාස කරනවා ඉන්න ක්‍රීඩකයින්ට පවර් එක තියෙනවා කියලා. විශේෂයෙන් ගත්තහම ඕපර්න්ස්ලා දිහා බැලුවත් කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා පසුගිය කාලේදි.ඒ වගේම කමිදු මෙන්ඩිස් වුණත් චරිත් අසලංකා වගේම වනිඳු හසරංගත් ඉන්නවා පිතිකරුවන් අතර. ඒ වගේම දසුන් ශානකත් ඉන්න සිට අපිට විශ්වාසයක් තියෙනවා මේ අයගෙන් ඒ අඩුපාඩුව කවර් කරගන්න පුලුවන් කියලා“ යැයි තරංග පවසයි.

මෙහිදී කණ්ඩායම් නායක වනිඳු හසරංගගේද පන්දුවට පහර දෙන ස්ථානය තරගයේ ස්වභාවය අනුව වෙනස්විය හැකි බවද උපුල් තරංග සදහන් කර සිටියේය. “වනිඳු කියන්නේ වේගයෙන් පන්දුවට පහර දිය හැකි ක්‍රීඩකයෙක්. නමුත් අපි ඔහුව යොදාගන්න බලාපොරොත්තු වෙන්නේ අවස්ථානුකූලවයි. පන්දුවට පහර දෙන වෙලාවට ඉනිම හැඩ ගැසෙන ආකාරය අනුව තවයි අපි ඔහුව පන්දුවට පහර දීම සඳහා භාවිතා කරන්නේ. ඒ නිසා බොහෝ දුරට මේ තරගාවලියේදී ඔහු ෆ්ලෝටිං (පාවෙන) පිතිකරුවකු විදියට කණ්ඩායම භාවිතා කරයි“ යැයිද තේරීම්ස කමිටු සභාපතිවරයා වැඩිදුරටර් සඳහන් කර සිටියේය. තේරීම් කමිටු සභාපතිවරයා ඒ අයුරින් අදහස් දක්වා සිටිද්දී ඔහුගේ කමිටු සාමාජිකයින් වන තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, ඩිල්රුවන් විතානගේ සහ ඉන්දික ද සේරම් යන අයද ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර අද පස්වරුවේදී සර්ව ආගමික වතාවත් වලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී සහභාගිවූ නමුත් තරගාවලිය සඳහා හෙට (14 වැනිදා)පෙරවරුවේදී පිටත්ව යනු ඇත.

Back To Top