දකුණු ආසියාවේ ක්‍රිකට් රන් පදක්කම් ද්විත්වයම බංගලාදේශයට.

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අදාලව ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද කත්මණ්ඩු නුවරට ආසන්නයේ පිහිටා ඇති ත්‍රිබූවින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම අතර පැවතුණි. තරගයේ කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එම තීරණයට උපරිම සාධාරණය කළ බංගලාදේශ පන්දු යවන්නන් ශ්‍රී ලංකා ඉනිම සියලු දෙනාම දැවී ලකුණු 122 කට සීමා කිරීමට සමත්විය.
කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට නිදහසේ පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා නොදුන් බංගලාදේශ පන්දු යවන්නන් ආරම්භයේ සිටම තරඟයේ ග්‍රහණය ඔවුන් වෙත නතු කොට ගෙන තිබුණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශම්මු අශාන් පන්දු 20කදී හතරේ පහර 3ක් සමගින් ලකුණු 25 ක් ලබා ගැනීමට සමත්විය. පැතුම් නිශ්ශංක ලකුණු 22ක් ලබා ගත් අතර අන්කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට නොහැකිවිය. පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් හසන් මහමුද් කඩුලු 3ක් බිදහෙළන ලදි.

ලකුණු 123 ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංගලාදේශ පිතිකරුවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නන් තර්ජනාත්මක පන්දු යැවීමක් සිදු කළද පන්දුවාරයකට අවශ්‍ය ලකුණු 6කට මදක් වැඩි දළ ළකුණු වේගය ඒකාකාරීව පවත්වා ගෙන යාමට බංගලාදේශ පිතිකරුවන් සමත් වීම හේතුවෙන් කඩුලු තුනක් පමණක් දැවී නියමිත ඉලක්කය පන්දුවාර 18.1කදී පසුකර යාමට බංගලාදේශය සමත්විය.බංග්ලාදේශය වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් දියත් කළ නස්මුල් ශැන්ටෝ ළකුණු 32ක් ලබාගැනීමට සමත්වූ අතර ආරම්භක පිතිකරු සයිෆ් හසන් ලකුණු 33ක් ලබා ගැනීමට සමත්විය.

මේ අනුව කාන්තා හා පිරිමි ක්‍රිකට් දෙඅංශයේම රන් පදක්කම් බංගලාදේශය විසින් හිමිකර ගත් අතර ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් වලට රිදී පදක්කම් වලින් සෑහීමකට පත්වීමට සිදුවිය.

ශ්‍රී ලංකාව 122 – 10 (20) ශම්මු අශාන් 25 , පැතුම් නිස්සංක 22 , හසන් මහමුද් 3 – 20

බංගලාදේශය 123 – 3 (18.1 ) නස්මුල් ශැන්ටෝ 32 , සයිෆ් හසන් 33 කමිදු මෙන්ඩිස් 1 – 9

චානක මධුසාගර
[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top