දිමුත් සහ ළහිරුගේ ශතක සම්බන්ධතාව, බංග්ලාදේශය වෙහෙසට පත්කරයි

[vc_row][vc_column][vc_column_text]ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනංවන ලද වාර්තා ගත ලකුණු 209 ක ලකුණු සම්බන්ධතාවය හේතුවෙන් පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (29 දා) ආරම්භ වුණු දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු දිනට ක්‍රීඩාව නතර කර දමන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 291 ක් ලබා තරගයේ පූර්ණ පාලනය සතු කර ගැනීමට සමත්ව සිටියේය.

මොවුන් දෙදෙනා අතර වාර්තා වුණු මෙම සම්බන්ධතාව වසර 21 කට පසු ශ්‍රී ලංකා පිතිකරුවන් යුගලයක් ශ්‍රී ලංකාව තුළදී ලකුණු 200 ඉක්මවා රැස් කරගත් පළමු අවස්ථාව ලෙසින්ද සටහන් වේ. අවසන් වතාවට ශ්‍රී ලංකාව තුළ ලකුණු 200 සීමාව ඉක්මවමින් ලකුණු රැස් කර ඇත්තේ සනත් ජයසූරිය සහ මාවන් අතපත්තු දෙදෙනා වන අතර ඔවුහු පාකිස්තානයට එරෙහිව 2000 වසරේදී  ලකුණු 335 ක් රැස් කර තිබේ. 2004 වසරේදීම ඔවුන් දෙපළ සිම්බාබ්වේට එරෙහිව ලකුණු 281 ක් රැස් කර ඇතත් එය ශ්‍රී ලංකාවෙන් පිටතදීම හෙවත් හරාරේහිදී රැස් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් යුගලයක් පිට පිටම තෙවැනි වතාවටත් ලකුණු 100 ඉක්මවා ලබා ගත් ‍පළමු අවස්ථාව වශයෙන් මෙම සම්බන්ධතාවය වාර්තා පොත් අතරට එක් වනු ඇත. මෙම තරගයේ රැස් කරන ලද සම්බන්ධතාවයට පෙර ඔවුන් පළමු තරගයේදී ලකුණු 114 ක් සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට පැවැති අවසන් ටෙස්ට් තරගයේ අවසන් ඉනිමේදී ලකුණු 101 ක් වශයෙන් ලකුණු 100 කඩඉම ඉක්මවාලීමට සමත්වූහ.

පළමු සැසියට වඩා දෙවැනි සැසියේදී ලකුණු ලබා ගැනීම ඉක්මන්  කළ දිමුත් – ළහිරු සුසංයෝගය යවන ලද පන්දුවාර 31 දී ලකුණු 122 ක් එක් කළහ. ඒ අතරතුරදී මෙම සම්බන්ධතාවය බිඳ හෙළීමට බංග්ලාදේශ කණ්ඩායම නොයෙකුත් උත්සාහ දැරූ නමුත් ඒ සියල්ලන්ගෙන්ම වමත් පිතිකරුවන් දෙදෙනා ආරක්ෂා වීමට වග බලා ගත්හ.

දිනයේ දැවී ගිය එකම පිතිකරුවා වූ නායක කරුණාරත්න ශොරිෆුල් ඉස්ලාම්ගේ මංගල කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වන විට ලකුණු 118 ක් රැස් කරගෙන සිටියේය. පන්දු 190 කට මුහුණ දුන් වමත් පිතිකරුවා ඉන් 15 ක් හතරේ පහර බවට පරිවර්තනය කර ගත්තේය. ඒ අතුතර ඔහු සිය ටෙස්ට් ලකුණු 5000 සීමාවද පසු කර ගියේ ශ්‍රී ලංකාවෙන් එවැනි දස්කමක් දැක්වූ 10 වැනි පිතිකරුවා බවටද පත් වෙමින්.

අද රැස් කරන ලද ලකුණු 118 ක ඉනිමත් සමඟ 2021 වසරේදී ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලද පිතිකරුවන් අතර තෙවැනි ස්ථානය දක්වා (558)  ඉදිරියට පැමිණියේය. කරුණාරත්නට ඉදිරියෙන් එංගලන්ත නායක ජෝ රූට් (794) සහ සහායක ළහිරු තිරිමාන්න (648) පසු වුවද ඔවුන් දෙදෙනාටම වඩා කරුණාරත්නගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය (69.74) ඉහළ තලයක පැවැතීම කැපී පෙනෙයි.

තිරිමාන්න – කරුණාරත්න පිතිහරඹය හේතුවෙන් කිසිවක් කරගත නොහැකි වූ බංග්ලාදේශ නායකයා ආක්‍රමණශීලීව පන්දු රකින්නන් යොදවමින් ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩු කිරීමට උත්සාහ ගත්තේය. එහෙත් හොඳ හැටි තණතීරුවේ පදම්ව සිටි පිතිකරුවන් සියුම් වූ හිදැස් අතරින් පන්දුව හතරේ සීමාවට යවන ලද්දේ මනරම් ඩ්‍රයිව් පහර කීපයක්ම එල්ල කරමිනි.

මුහුණ දුන් 165 වැනි පන්දුවේදී කරුණාරත්න සිය 12 වැනි ටෙස්ට් ශතකය සපුරා ගත්තේ හතරේ පහර 13 කින්ද තම ඉනිම සරසා ගනිමිනි. ඒ සමඟම කණ්ඩායමේ සිටින වැඩිම ශතක ලාභීන් වන ශතක 11 රැඳී සිටින ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාවම පසු කිරීමට කරුණාරත්න අද සමත්විය.

තරගය ඇරැඹි පළමු පැයේදී පන්දුවේ දෝලනය දෙපසටම පැවැතිය නමුත් ඊට එරෙහිව සිය පිති ආරක්ෂා කරගත් වමත් ආරම්භක පිතිකරුවන් යුගලය දිවා ආහාරය තෙක්ම කඩුලු ආරක්ෂා කරගත්හ. ඉනිම ආරම්භයේදී ලකුණු ලබා ගැනීමට වඩා පන්දුවේ ස්වභාවය තේරුම් ගැනීම සඳහා වැඩි කාලයක් මිඩංගු කළ මොවුන් දෙපළ, දිවා ආහාරයට මිනිත්තු 45 කට පමණ පෙර සිට සුපුරුදු පිති ප්‍රහාරය දියත් කළහ.

දිනයේ යැවිය යුතු පන්දුවාර 90 අවසානයේදී කඩුලු ආරක්ෂා කරගෙන සිටි ළහිරු තිරිමාන්න ලකුණු 131 ක් ද ඕෂද ප්‍රනාන්දු ලකුණු 40 ක්ද ලබා දෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහරදීමේ අවස්ථාව උදාකරගෙන සිටිති. ආරම්භයේ පටන් අවසන් වන තෙක්ම කඩුල්ලේ රැඳී සිටි තිරිමාන්න පන්දු 253 කට මුහුණ දෙමින් හතරේ පහර 14 ක්ද ඕෂද ප්‍රනාන්දු හතරේ පහර 4 ක් සමඟ පන්දු 98 කදී ලකුණු 40 ක්ද ලබා සිටියහ. අද දිනයේදී තිරිමාන්න තම පෞද්ගලික ටෙස්ට් ලකුණු සංඛ්‍යාවේ 2000 කඩඉම ඉක්මවාලීම කැපී පෙනුණි. හෙට තරගයේ දෙවැනි දිනයයි.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top