පසුගියවර අනුශූරයන් පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද දිනයේදී සිදුවුණා. ඒ බංගලාදේශ කණ්ඩායම හමුවේ ලද අවමන් සහගත පරාජය හේතුවෙන්.

මෙම තරඟයේ කාසියවා සිය දිනූ බංග්ලාදේශ වයස අවුරුදු 19 පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නියමිත පන්දු වාර පනහ අවසානයේ කඩුලු නමයක් දැවී තිබියදී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 199ක් පමණි. එහිදී ඉනීමේ වැඩිම ලකුණු ලාභියා වූ පිළිඳු පෙරේරා ලකුණු 28ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී බංගලාදේශය වෙනුවෙන් වාසි සිද්ධික් ලකුණු තිස් දෙකට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුණා.

පහසු ඉලක්කය හඹා යාමට පිටියට පිවිසෙන බංගලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 40 පන්දු 4 අවසානයේ කඩුලු හතරක් පමණක් දැවී තිබියදී නියමිත ඉලක්කය සපුරාලීමට සමත් වුණා. බංග්ලාදේශය වෙනුවෙන් ආරම්භක පිතිකරු රහ්මාන් ශිබ්ලි පන්දු 130කදී හතරේ පහර 11 සහ හයේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත් වුණා. මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.

Back To Top