[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරගාවලියේ සිව්වන අදියරේ අවසන් මහා තරගය හා තෙවන ස්ථානය සදහා වන තරගය ඊයේ දිනයේදී පැවැත්විණි. අවසන් පූර්ව තරගවලදී ජයග්රහණයන් හිමිකරගත් Northern Warriors කණ්ඩායම හා Delhi Bulls කණ්ඩායම හතරවන T10 කුසලානය වෙනුවෙන් තරග බිමට පිවිසීය.
තරගයේ කාසිය වාසිය හිමිකරගත් Northern Warriors නායක නිකලස් පූරාන් පළමුව පන්දු යැවීමට තීරණය කළේය. දෙවන පන්දුවාරයේ දෙවන පන්දුවේදී ඇෆ්ගනිස්තාන යොවුන් ක්‍රීඩක රහ්මනුල්ලා ගුර්බාස්ගේ ඉනීම ලකුණු 13කට සීමා කරන්නට ජුනයිඩ් සාදික්ට හැකිවිය. තෙවන පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මහේෂ් තීක්ෂණ කැදවන්නට නිකලස් පූරාන් තීරණය කළේය. එම තීරණයට සාදාරණයක් ඉටුකරන්නට මහේෂ් තීක්ෂණ සමත් වන්නේ පස්වන පන්දුවේදී ඊවන් ලෙවිස් දවාගනිමිනි.
ඉනීමේ අර්ධයක් නිමාවන විට කඩුලු 3ක් දැවී ලකුණු 55ක් රැස්කිරීමට Delhi Bulls පිළට හැකිවිය. හයවන පන්දුවාරය වෙනුවෙන් කැදවීම් ලද ශ්‍රී ලංකා ක්‍රීඩක ධනංජය ලක්ෂාන්ගේ පළමු පන්දුවට එල්ල වූ හයේ පහරේ වාඩුව ගන්නට දෙවන පන්දුවේදී ඔහුට හැකිවන්නේ මොහොමඩ් නබීගේ ඉනීම ලකුණු 21කට සීමා කරමිනි. මීළග පන්දුවේදී රවී බොපාරා ලබාදුන් පහසු උඩපන්දුවක් ගිලිහුණු නිසාවෙන් ධනංජය ලක්ෂාන්ට තවත් කඩුල්ලක් දවාගැනීමට තිබූ අවස්ථාවක් අහිමි විය.
හත්වන පන්දුවාරයේ පළමු පන්දුවේදීම රවී බොපාරා දවාගන්නට සමත් වූ මහේෂ් තීක්ෂණ තෙවන පන්දුවේදී ලකුණු නොලබා සිටි Delhi Bulls නායක ඩැරන් බ්රාවෝ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට සමත් විය. මහේෂ් තීක්ෂණ සිය පන්දුවාර දෙක තුළදී ලකුණු 14කට ප්‍රතිවාදී කඩුලු 3ක් බිදහෙලන්නට සමත් විය. Delhi Bulls පිතිකරුවන්ට අවසන් පන්දුවාරය යොමුකිරීමේ වගකීම පැවරුණේ ධනංජය ලක්ෂාන්හටයි. පන්දුවාරයේ දෙවන පන්දුවේදී ෂිරාස් අහමඩ් දවාගන්නට ධනංජයට හැකිවද්දී එම පන්දුවාරයේ පස්වන පන්දුවේදීත් ලබාගත හැකිව තිබූ උඩපන්දුවක් Northern Warriors පිළෙන් ගිලිහුණි. එම පන්දුවාරය තුළදී ලකුණු 3කට එක් කඩුල්ලක් දවාගත් ධනංජය ලක්ෂාන් සිය පන්දුවාර දෙක නිමා කළේ ලකුණු 14කට කඩුලු 2ක් දවාගනිමිනි. නියමිත පන්දුවාර දහය තුළදී Delhi Bulls කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 81ක් පමණි.
ඉලක්කය හබායාමට පිටියට පිවිසියේ වසීම් මහමුඩ් සමගින් නිකලස් පූරාන්ය. Northern Warriors ලකුණු පුවරුව ලකුණු 19ක් ලෙසින් දිස්වද්දී නිකලස් පූරාන් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට ෆිදෙල් එඩ්වර්ඩ්ස්ට හැකිවිය. එතැන් පටන් වසීම් මහමුඩ් හා ලෙන්ඩල් සිමන්ස් කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය අඩිතාලම යෙදීය. වසිම් මහමුඩ් ලකුණු 27කදී ක්‍රීඩාගාරයට හරවා යවන්නට ෂිරාස් අහමඩ්ට හැකිවිය. පන්දුවාර 8 පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී නියමිත ඉලක්කය සපුරාලන්නට Northern Warriors ක්‍රීඩකයන්ට හැකිවිය. තරගයේ වීරයා ලෙසින් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සම්මානයට පාත්‍ර වද්දී තරගාවලියේ වීරයා බවට Northern Warriors නායක නිකලස් පූරාන් සම්මාන ලැබීය.
Delhi Bulls ඉනීම : 81-9 (10.0)
මොහොමඩ් නබී 21(10) , රහ්මනුල්ලා ගුර්බාස් 13(7)
මහේෂ් තීක්ෂණ 3/14 , ධනංජය ලක්ෂාන් 2/14
Northern Warriors ඉනීම : 85-2 (8.2)
වසීම් මහමුඩ් 27(22) , රෝමන් පවෙල්* 16(8), ලෙන්ඩල් සිමන්ස්* 14(12)
ෆිදෙල් එඩ්වර්ඩ්ස් 1/18 , ෂිරාස් අහමඩ් 1/18
– Creeda Sports Network –
[/vc_column_text][/vc_column][/vc_row]