ශතකය අහිමිවීම ගැන ඕෂද ‘කනස්සල්ලෙන්’

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින අවසනදී රූපවාහිනී සාකච්ඡාවකට එක් වුණු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවේ ඉලක්කය ලකුණු 600 ක් ලබා ගැනීම බවයි. ඔහුගේ ප්‍රකශය වඩාත් සාධාරණීය තත්ත්වයක වූයේ පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 291 ක් ලබා සිටි බැවිනි.  එම බලාපොරොත්තුව සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් දෙවැනි දිනය ඇරැඹූ ශ්‍රී ලංකාවට සිදුවූයේ අනෙකකි. නොසිතූ ලෙස පළමු සහ දෙවැනි සැසි වලදී ශ්‍රී ලංකා පිලේ ඉදිරි පෙළේ කඩුලු 5 ක් ලකුණු 69 ක් ඇතුළතදී දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත්විය. එය බලාපොරොත්තු වුණු ඉලක්කය කරා යෑමට නොහැකිවීමට හේතුවූ එක් කාරණයකි. දෙවැන්න දිනයේ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයි. අද දිනයේදී යැවීමට නියමිත පන්දුවාර 90 න් අවසන් කළ හැකි වූයේ 65 ක් පමණි. තරගය පැවැති කාල සීමාවේදී විටින් විට වූ අවස්ථා 2 කදී වර්ෂාවෙන් බාධා ඇතිවීමත් අවසන් භාගයේදී තරගය නියමිතවේලාවට කළින් නිමා කිරීමට සිදුවීම දෙවැනි කරුණයි.

“ඇත්තටම අපේ සැලසුම වෙලා තිබුණේ කොහොම හරි අද දවසෙදි පන්දුවාර 15 ක් හෝ 20 ක් විතර එයාලට (බංග්ලාදේශයට) දෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. කලුවර වෙලා දෙපාරක් විතර නවත්තන වුණා. ඒකෙන් තමයි අපේ බලාපොරොත්තු පොඩ්ඩක් පස්සට ඇදුණේ. එක ලඟ විකට් දෙක තුනක් ගිය නිසා මැදදි මායි පැතුම්වයි පොඩ්ක් හිර වුණා. ඉතිං ඒකත් එක්ක අරමුණ කරා යන්න බලපෑවා. හවස් වරුවේ වැස්සත් එක්ක තමයි සැලසුම් අවුල් වුණේ” යැයි තරගාවසානයේ පැවැති මාධ්‍ය හමුවේදී ඕෂද ප්‍රනාන්දු සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අංක 3 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි ඕෂද අද දිනයේදී ලකුණු 81 ක් ලබා ගැනීමට සමත්වූවේය. ඕෂද පිටියේ රැදී සිටියද බංග්ලදේශ පන්දු යවන්නන් ග්‍රහණය තර කරමින් පන්දු යැවීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අද දිනයේදී ඉතාමත් පහළ මට්ටමක පැවැතිණ. මැද පෙළින් පන්දුවට පහර දීමට පැමිණි නිරෝෂන් දික්වැල්ල පන්දු 64 කදී වේගවත් ලකුණු 64 ක් ලබා ගැනීමට සමත්වීම නිසා ලකුණු ලබා ගැනීමේ වේගයට තරමක් අස්වැසිල්ලක් ලැබිණ.

“එයාලා හොඳටම උදේ වරුව බොල් කළා. ඒක තමයි ලකුණු එන්න ටිකක් පරක්කු වුණේ. මට හිතුණු විදියට එයාලා ගොඩක් ලයින් ඇන්ඩ් ලෙන්ත් හොඳට බෝල් කළා. උදේ වරුව අවුවක් තිබ්බෙත් නෑ. මං හිතන්නේ ඒ හින්දා ඔවුන්ගේ උපරිමයම දාලා පන්දු යැව්වා” යැයි පවසන ඕෂද පළමු දිනට වඩා තණතීරුවද තරමක් මන්ද ගාමී ස්වරූපයක් ගෙන ඇති බව සඳහන් කර සිටියේය.

” ඔව්. ඊයේට වැඩිය අද විකට් එක පොඩ්ඩක් ස්ලෝ ගතිය තිබුණා. ඒ කියන්නේ බැට් එකට බෝලෙ ආවේ පොඩ්ඩක් ඉඳලා වගේ. මං හිතනවා විකට් එක හෙට අනිද්දා වෙන කොට වගේ හොඳ දඟ කැවීමක් තියෙයි කියලා” යැයි ඕෂද පවසයි.

පිතිකරණ ලැයිස්තුවේ ස්ථාන කීපයකම ක්‍රීඩා කර ඇති ඕෂද මේ වන විට කණ්ඩායමේ අංක 3 පිතිකරුවාගේ ස්ථානයෙන් පන්දුවට පහර දෙනු ලබයි. 2019 වසරේදී පාකිස්තානයට එරෙහිව කරච්චි නුවරදී සිය මංගල ශතකය රැස් කරගැනීමට සමත්ව සිටින දකුණත් පිතිකරුවා අවස්ථා කීපයකදීම ශතකයක් ලබා ගැනීමේ අභියසටම පැමිණ දැවී ගොස් තිබේ. අද දිනයේදීද ඔහුට සිදුවූයේ එවැන්නකි. ලකුණු 81 ක් ලබා සිටියදී ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වීමට ඕෂද ට සිදුවිය.

ඒ පිළිබඳවද අදහස් දක්වා සිටි ඕෂද, එම අවස්ථාවන් මඟ හැරීම කණගාටුවට කරුණක් වී තිබෙන බවයි. ” ඇත්තටම ශතකය අහිමිවීම ගැන ගොඩක් කණගාටුයි. මම වෙස්ට් ඉන්ඩීස්වලදිත් 91 ට අවුට් වුණා. මේ මැච් එකෙත් 81 යි. බැට්ස්මන් කෙනෙක් වුණාම මීට වැඩිය ලකුණු ටිකක් ලබා ගන්න තිබ්බා කියලා මට හිතෙනවා” යි ඕසද පවසයි. කෙසේ වෙතත් කණ්ඩායමේ පිතිකරුවන් ලකුණු අතරට පැමිණීම කණ්ඩායමක් වශයෙන් ඉතාම සුභදායී ලකුණක බවද ඕෂදගේ අදහසයි.

“අපි අවසන් කාලයේදී ගොඩක් හොඳට පුහුණුවීම් සිදුකළා. මම දැක්ක විදියට අවසන් තරගාවලි කීපයේදීම අපි හොඳට සූදානම් වුණු නිසා තමයි හොඳින් තරග කිරීමට අවස්ථාව ලැබුණේ. අපි කණ්ඩායමක් විදියට ඉදිරියට ඇවිල්ලා තියෙනවා නම් ඒක තමයි එකම හේතුව” යැයි ඕෂද සඳහන් කර සිටියි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top