ශ්‍රී ලංකාවට තවත් ආසියානු පදක්කම් හතරක්

ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ අද දිනයේදී ද පදක්කම් හතරක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඒ ගලීනා බස්නායක, රහීම් නවීඩ්, අනිල් ප්‍රසන්න හා නුවන් ඉන්දික යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේදී පැවති තරග වලින් පදක්කම් දිනාගැනීමට සමත් විය.

මීටර් 400 නිදහස් ආර තරග ඉසව්වේ S9 කාණ්ඩයේ අවසන් මහා තරගයට සහභාගි වූ රහීම් නවීඩ් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මිනිත්තු 4 තත්පර 39.63ක කාලයක් වාර්තා කරමිනි. එහි රන් පදක්කම හිමි වූයේ ආසියානු පැරා තරගාවලි වාර්තාව අලුත් කළ ජපාන ක්‍රීඩකයෙකුටයි.

මීටර් 400 නිදහස් ආර තරග ඉසව්වේ S9 කාණ්ඩයේම කාන්තා අවසන් මහා තරගයට සහභාගි වූ ගලීනා බස්නායක එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූයේ මිනිත්තු 5 තත්පර 18.28ක කාලයක් වාර්තා කරමිනි. එහි රන් පදක්කම හිමි වූයේ චීන ජාතික ක්‍රීඩිකාවකටයි.

අනිල් ප්‍රසන්න ජයලත් අද දිනයේ දී පැවති මීටර් 100 ඉසව්වේ T64 අවසන් මහා තරගයේදී තත්පර 12.98 ක දක්ෂතාවක් දක්වමින් ආසියානු පැරා රිදී පදක්කම හිමිකරගැනීමට සමත් විය. ඉන්දුනීසියානු ක්‍රීඩකයෙකු රන් පදක්කම හිමිකරගත් අතර, තායිලන්ත ක්‍රීඩකයෙකු ලෝකඩ පදක්කම හිමි කරගත් අතර මෙම තරගයට සහභාගී වූ බුද්ධික ඉන්ද්‍රපාල සිව්වැනි ස්ථානයට පත්විය.

අද දිනයේදී තවත් පදක්කමක් දිනා දෙන්නට නුවන් ඉන්දික සමත් විය. ඔහු මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනා දුන් දෙවන පදක්කම මෙයයි. නුවන් ඉන්දික T64 දුර පැනීමේ ඉසව්වෙන් ආසියානු පැරා රිදී පදක්කම හිමිකරගැනීමට සමත් වූයේ මීටර් 6.68 ක දක්ෂතාවක් දක්වමිනි. එය T44 කාණ්ඩයේ ආසියානු වාර්තාවක් ද ලෙසින් වාර්තා පොත් අතරට එක්විය. මෙම තරගයට T64, T44 කාණ්ඩවල ක්‍රීඩකයන් සහභාගී විය.

Back To Top