ශ්‍රී ලංකාව ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates සත්සාමාජික රග්බි තරගාවලිය අද(04) දිනයේදී ආරම්භ වුණා. අද සහ හෙට යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් තරග බිමට අවතීර්ණ වුණා.

කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩය යටතේ තරග බිමට පිවිසියා. මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වුණේ කසකස්ථානය, කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය යි.

තරින්ද රත්වත්තේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග 3ම විශිෂ්ට අන්දමින් ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුණා. C කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙසින් ශ්‍රී ලංකාව හෙට දිනයේදී ඉන්දියාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කසකස්ථානයට එරෙහිව පළමු තරගය වෙනුවෙන් එක්වුණා. මෙම තරගයෙන් ලකුණු 43-0ක් ලෙසින් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හැකිවුණා. මෙම තරගයේදී ආකාෂ් මධුසංඛ සහ තරින්ද රත්වත්තේ උත්සාහ දිනුම් 2 බැගින් වාර්තා කළා. හිරන්ත පෙරේරා, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, ශකිබ් සූම්‍රි එක් උත්සාහක දිනුම බැගින් රැස්කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ කටාර් කණ්ඩායමට එරෙහිවයි. මෙම තරගයෙන් ලකුණු 39-5ක් ලෙස විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා. මෙම තරගයේ හේෂාන් ජන්සෙන් උත්සාහක දිනුම් 2ක්ද ආකාෂ්, ජනිදු, ශ්‍රීනාත්, සචිත්, තරින්ද සහ හිරන්තත එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළා.

ශ්‍රී ලංකාවට මූලික වටයේ අවසන් තරගයේදී මුණ ගැසුණේ සෞදි අරාබි කණ්ඩායමයි. මෙම තරගයෙන් ලකුණු 52-0ක් ලෙසින් ජයක් ලබන්නට සිංහ පුතුන්ට හැකිවුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් හේෂාන් ජන්සෙන් සහ ශකිබ් සුම්‍රි උත්සාහක දිනුම් 2ක් රැස්කරද්දී තරින්ද, දිනාල්, හිරන්ත සහ ජනිදු උත්සාහක දිනුම බැගින් වාර්තා කරන්නට සමත් වුණා.

Back To Top