ශ්‍රී ලංකා ක්‍රිකට් පන්දු යවන්නන් පුහුණු කිරීමට ඇකඩමි අරඹයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් පුහුණු කිරීම උදෙසා පන්දු යැවීමේ පුහුණු විද්‍යායතනයක් (ඇකඩමි) ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී. මෙම වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් පුහුණු කිරීමේ ඇකඩමි ඉහළ ප්‍රමිතියෙන් යුතුව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත.

වේග සහ දඟ පන්දු යැවීම කෙරෙහි අවධානය යොමු කළ විශේෂිත ඇකඩමි පිහිටුවීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකේ. ක්‍රිකට් ක්‍රීඩකයින්ට බිම් මට්ටමේ සිට දක්ෂතා පෝෂණය කිරීමට සහ කුසලතා ඔප්නැංවීමට මෙම ඇකඩමිය උපකාරී වනු ඇත. ‘ඒ‘ සහ ‘බී‘ කාණ්ඩවල ක්‍රීඩා කරන අන්තර් ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් මෙම ඇකඩමි ක්‍රියාත්මක කෙරේ. අනාගතයේදී ජාතික කණ්ඩායම ශක්තිමත් කළ හැකි සුවිශේෂී පන්දු යවන්නන් සොයා ගැනීමට සහ සංවර්ධනයට මෙම ක්‍රිකට් ඇකඩමි තුලින් මඟ පෑදේ.

ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් සහ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සපයන ලද මාර්ගෝපදේශ අනුගමනය කරමින් අදාළ ඇකඩමි සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම සිදුවේ. ඔවුන්ගේ කුසලතා සහ නිපුණතා වැඩි දියුණු කිරීම සඳහා ක්‍රමනුකූල හා දැඩි පුහුණුවක් මෙහිදී ලබා දෙනු ඇත. මෙයින් වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් යන අංශ දෙකම ආවරණය වන පරිදි තරගකාරී පන්දු යැවීමේ ඒකකයක් ගොඩනැගීමට උපකාරී වේ.

වේග පන්දු යවන්නන් පුහුණු කිරීම ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ජාතික වේග පන්දු යැවීමේ පුහුණුකරුවන් වන අනූෂ සමරනායක, රවීන්ද්‍ර පුෂ්පකුමාර, චමිල ගමගේ සහ දර්ශන ගමගේ යන මහත්වරු විසින් සිඳුකරන අතර, දඟ පන්දු යවන්නන් පුහුණු කිරීම පියල් විජේතුංග, සජීව වීරකෝන් සහ සචිත් පතිරණ යන මහත්වරු විසින් සිඳු කරනු ඇත.

මෙම වැඩ සටහන තේරීම් කමිටු සාමාජිකයින්වන අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන, දිල්රුවන් පෙරේරා, සහ ඉන්දික ද සේරම් යන මහත්වරු අධීක්ෂණය වෙනුවෙන් පත්කර තිබේ.

ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිට පළාත්වල වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් පුහුණු කිරීම උදෙසා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන අතර, ඒ සදහා දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් දක්ෂතා සපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් සොයා ගැනීමට අපේක්ෂා කෙරේ.

Back To Top