ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පරාජයන් ගොන්නකින් ලෝක කුසලානය අවසන් කරයි

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් අවසන් තරගය අද දිනයේදී පැවැත්වුණා. සාජාහිදී නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා.

ශ්‍රී ලංකා ඉනීමේ පළමු කඩුල්ල ලෙසින් විශ්මි ගුණරත්න ලකුණු 8කට දැවී යද්දී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18ක් රැස්කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් වෙමින් පන්දු 41කදී හතරේ පහර 5ක් සමගින් ලකුණු 35ක් රැස්කළා.

කවීෂා දිල්හාරි ලකුණු 10ක්, අනුෂ්කා සංජීවනී ලකුණු 5ක් රැස්කරද්දී නිලක්ෂි ද සිල්වා සහ අමා කාංචනා නොදැවී ලකුණු 14ක් සහ ලකුණු 10ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් කළා. අතිරේක ලකුණු 15ක්ද සමගින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 115ක් පමණයි.

නව වෙනුවෙන් අමේලියා කේර් සහ ලේග් කැස්පරෙක් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා. ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන නවසීලන්ත ක්‍රීඩිකාවන් පන්දුවාර 17 පන්දු 3කදී කඩුලු 2 පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

ආරම්භක පිතිකාරිණී ජෝජියා ප්ලිමර් පන්දු 44කදී හතරේ පහර 4ක් සමගින් ලකුණු 53ක්ද අමේලියා කේර් පන්දු 31කදී නොදැවී ලකුණු 34ක්ද රැස්කළා. පන්දු යැවීමේදී චමරි සහ සචිනි අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය තුළ ක්‍රීඩා කළ තරග 4ම පරාජයට පත් වෙමින් A කාණ්ඩායේ අවසන් ස්ථානයට පත් වුණා. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසය තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කිසිදු ජයක් නොලැබූ එකම තරගාවලිය බවට මෙවර තරගාවලිය පත්වුණා.

Back To Top