ශ්‍රී ලංකාව සලිත කළ නයිරෝබි ප්‍රහාරයට පෙර අෆ්‍රිඩි දුටු සිහිනය

[vc_row][vc_column][vc_column_text]ශහිඩ් අෆ්‍රිඩි එක්දින කණ්ඩායමට පැමිණීම පිළිබඳව හා ඒ හා බැදුණු සිදුවීම පළවෙනි සටහනෙන් විස්තර කලා..මේ සටහනේදී අෆ්‍රිඩිගේ පැමිණීම පිළිබඳව නායක වසීම් අක්‍රම්ගේ මතකාවර්ජනයට යොමු වෙමු..

මේ එවකට පාකිස්තාන ක්‍රිකට් නායක වසීම් අක්‍රම්ගේ එදා මතකය

“ඇත්තටම මුෂ්ටාක් අහිමි වීම ඉතාමත් ප්‍රබලව අපට දැනුනා. ඒ අඩුව වෙනුවෙන් තේරීම් කමිටුව අපට ලබාදුන් ක්‍රීඩකයා තමයි අෆ්‍රිඩි.ඇත්තටම ඔහු කවුද කියලා අපි දන්නෙ නෑ ඒ වෙනකොටත්. කොටින්ම අපි ඔහුව දැකලවත් තිබුණේ නෑ.

ඔහු නයිරෝබි වලට ඇවිත් මම හමුවෙලා කතා කලා.. ශරීරයෙන් නම් පොඩි කොල්ලෙක් නෙමෙයි. පහුවදා අපි පුහුණු වීම් සැසියෙදි හමුවෙමු කියලා මම ඔහුට සමු දුන්නා.

පහුවදා ඔහු දැල් තුළදී පන්දු යවන්න පටන් ගත්තා.
ඔහුගේ පන්දු වල ඉතා හොද විවිධත්වයක් තිබුණා.. ඔහුට ඉතා වේගයෙන් යොමු කළ හැකි හොද ගුග්ලි පන්දුවක් තිබුණා.නමුත් ඔහුගේ පන්දු යැවීම මුෂ්ටාක් තරම්ම තිබුණේ නැ. ඒ නිසා පොඩි බලාපොරොත්තු බිද වැටීමක් උනේ නෑ කියන්න බෑ. හැබැයි පන්දු යැවීම අනිල් කුම්බ්ලේට වඩා නම් සෑහෙන්න ඉදිරියෙන් තිබ්බා කියලා මට තක්කෙටම කියන්න පුළුවන්. මේ වසීම් අක්‍රම්ගේ වචනයි.

පන්දු යැවීමෙන් පස්සෙ ඔහුගේ පිතිකරණ අවස්ථා එළඹුණා. ඇත්තටම ඒ වෙනකොට ක්‍රීඩාංගණයට යම් අදුරක් වැටෙමින් තිබුණේ. ශහීඩ් පන්දු යවන්නෙක් නිසා පිතිකරණය අඩුවෙන් කළා කියලා ප්‍රශ්නයක් තිබ්බෙ නෑ. ඔහු විතරයි පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෙකු විදියට හිටියේ. අපිටත් ඉක්මනට හෝටලය වෙත ආපහු යෑමේ උවනාවක් තිබුණා.

ඊට පස්සෙ උන් දේ හිතා ගන්න බෑ. මම ඔහුට පාදග පන්දු කිහිපයක් යොමු කලා.ඒවාට ඔහු පහරදුන් වේගය සිතා ගන්න බැරි තරම් උනා. අනතුරුව වකාර් ඔහුට පිටදග පන්දු කිහිපයක් යොමු කළා ඔහුට අත් උන ප්‍රතිඵලය මට අත් උන දේම තමයි.

අනතුරුව අපි දෙන්නම කෙටි දුරක් දුවගෙන ඇවිත් පන්දු යැවීමට තීරණය කලා.විශ්වාස කරන්න ප්‍රහාරය තවත් ප්‍රබලා උනා.

ඇත්තටම අපට ලැජ්ජව කියන දේ නොදැනුනා නෙමෙයි. ඒ වෙනකොට අපට එහෙම දැල් තුළ කිසිම කෙනෙක් පහරදීලා තිබුණේ නෑ.

ඒ නිසාම අපි සුපුරුදු වේගයෙන් ශහීඩ්ට පන්දු යැව්වා.ඔහුගේ පිතිහරඹය කිසිම වෙනසක් උනේ නෑ. වේගයෙන් පන්දුව යොමු කරන්න කරන්න ඔහුගේ වේගවත් පහරවල් තවත් වැඩි උනා

අඩ අදුරේම ඔහු හයේ පහරවල් එල්ල කලේ හරියට රාත්‍රී‍යේ පෙනීමට ආධාරක වන දෙයක් (Night Vision or Something) ඔහුගේ ඇස් වල සවි කරලා වගේ..මම තීරණය කලා අදට පුහුණුවීම් අවසන් කරන්න.

පහුවදා පුහුණු සැසියේදී මම ඔහුට කීවා වේලාසනින්ම පිතිකරණයට සූදානම් වන් විදියට..ඔහු පෙරදා හවසටත් වඩා දරුණුවට ඒ මොහොතේ පන්දුවට පහර දුන්නා.

වාසනාවට දැල් තුළදී තමයි මේ පිතිහරඹය සිදු වුනේ. නැත්නම් පන්දුව නවතින්නේ ක්‍රීඩාංගණයෙන් ඉවතට ගිහින්. ඒ තරමට ඒ ප්‍රහාරය ප්‍රභල උනා.

එදා මම තීරණය කළා මොහුට විශේෂිත හැකියාවක් තියෙනවා කියලා.

නමුත් අවාසනාවකට ඊට පසුවදා මට ආරංචි උනා මගේ තාත්තා අසනීප වෙලා ( හෘදයාබාධයක්) රෝහල් ගත කරලා කියලා. මම ආපහු පාකිස්තානයට යන්න කලින් වැඩ බලන නායක සහීඩ් අන්වර්ට පවසා සිටියා පුලුවන් නම් මේ කොල්ලව උඩින් පන්දුවට පහර දෙන්න එවන්න කියලා. ඔහු දන්නවා කළ යුතු දේ. ඒ නිසා මම කණ්ඩායමෙන් සමුගෙන පකිස්තානය වෙත පැමිණියා.”

මේ එදා සිදුවීම් ගැන අෆ්‍රිඩිගේ මතකාවර්ජනය.

“ඒක මම හිතලා කරපු දෙයක් නෙමෙයි. මම මගේ සාමාන්‍ය ක්‍රීඩා විලාශයෙන් දැල් තුළදී පහර දුන්නා. මම මාව විශේෂ කොට ක්‍රීඩා කරන්න උත්සාහ කලේ නෑ.සාමාන්‍ය විදියට ක්‍රීඩා කළා එපමණයි සිදු උනේ.

ඇත්තටම එතකොට මගෙ වයස අවුරුදු 16ක් නෙමෙයි.ඒ වැරද්ද කොහොම උනාද කියන්න මම දන්නෙ නැ. මම ඉපදුනේ 1975 දී.. 1996 වෙනකො මට වයස අවුරුදු 16ක් නෙමෙයි 21 ක් වෙන්න ඕනී.

ආරංචියක් පැතිරුණා මම තමයි හෙට තරගයේදී ඉනිම ආරම්භ කරන්නෙ කියලා.. ඒක අහලා මම පොඩ්ඩක් තිගැස්සිලා ගියා..පාකිස්තානය වෙනුවෙන් ඉනීම ආරම්භ කරනවා කියන එක ඇත්තටම ගෞරවයක්.ඊටත් වඩා ලොකු වගකීමක් ඒක.

කොහොම උන්ත් මගෙ මංගල එක්දින ජාත්‍යන්තර තරගයේදී මට පිතිකරණය යෙදීමට උනේ නෑ.( නොම්බර 9 පිතිකරු ලෙස ඔහු රැදී සිටියා) අපි කෙන්යාව කඩුලු 4 කින් පරාජයට පත් කලා. මම පන්දුවාර දහය ළකුණු තිස් දෙකකින් අවසන් කලා.

මීළග තරගය තිබුණේ ශ්‍රී ලංකාව සමගින්.එම තරගයට පෙර මට දැනුම් දුන්නා හෙට තරගයේ මම ආරම්භක පිතිකරු හෝ නොම්බර 3 පිතිකරු වෙනවා කියලා.

එදා රෑ මට නින්ද ගියේ නැ. නිදා ගන්න් උත්සාහ කලෙත් නෑ.
මම අවදිවෙලා මුහුණ සේදුවා.මගේ කාමර සගයා ( Room Mate ) ශහදාබ් කබීර් ඇහුවා ඇයි නිදා ගන්නෙ නැද්ද කියලා. මම ඔහුට කීවා අපි දැන් යමු අද අපට තරගයක් තියෙනවා නෙ කියලා.

ශහාදාබ්ට එකවරම කේන්ති ගියා..ඔහු මට කීවා තාම වෙලාව පාන්දර 2.30යි මනුස්සයො නිදාගන්න කියලා.

උදෑසන ඔහු අවධි වූ සැනින් මම ඔහුගෙන් සමාව ඉල්ලා සිටියා අලුයම වූ ඔහුගේ නින්දට් බාධා වෙමින් උන සිදුවීමට.මම ඔහුට කීවා මම සිහිනයක් දැක්කා කියලා.

ඔහු හිනා වෙලා ඇහුව නින්ද නොයා හීන දැක්කෙ කොහොමද කියලා.
මම කීවා මම ඇත්තටම හීනයක් දැක්කා කියලා..

මම ඔහුට නැවත කීවා මම දැකපු හීනය තමයි මම මුරලි , සනත් , කුමාර් ධර්මසේනට යෝධ හයේ පහරවල් එල්ල කරනවා දැක්කා කියන එක කියලා.

ඒ වෙලාවෙ ශහදාබ් හිනාවෙලා කීවා එහෙම වෙන්න කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලමු දැන් යමු උදෑසන ආහරයට කියලා.

එහෙනම් ශහීඩ් ගේ සිහිනයේ යතාර්ථය එම සිහිනය සැබෑ කරගන්නට සචින්ගේ පිත්ත ඔහුට ලැබුණු හැටි ඊළග කතාවෙන්..

– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top