[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මූලික වටයේ තමන් මුහුණ දෙන තීරණාත්මකම තරඟයට ක්‍රීඩා කිරීමට අද දිනයේදී සූදානම් වනවා. ඒ සාජා ක්‍රීඩාංගනයේදීයි. මෙම තරඟය පරාජයට පත් වීම කණ්ඩායම් ද්විත්වයටම අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු සෑහෙන තරම් මකා දැමීමකි. මේ නිසාවෙන්ම කණ්ඩායම් ද්විත්වයටම ජයග්‍රහණය අත්‍යාවශ්‍ය වනවා. තරඟය තුළ කණ්ඩායම් ද්විත්වයටම වැදගත් වන කාරණා පහත පරිදි හඳුනාගත හැකියි,
පිතිකරුවන්
දකුණු අප්‍රිකාව දෙසින් පිතිකරණ බලඇණිය සැලකීමේදී එහි ප්‍රධානතම චරිතය ලෙසින් ක්වින්ටන් ඩි කොක් හඳුන්වන්නට පුලුවන්. පසුගිය තරඟයේ සිදුවූ ගැටලුව විසඳා ගැනීම නිසාවෙන් ඔහු මෙම තරඟය ක්‍රීඩා කිරීමට නියමිත වනවා. ඒ වගේම මෑත කාලීනව සාර්ථක ලෙසින් ක්‍රීඩා කරනා ඒඩ්න් මක්රම් සහ රසී වැන්ඩර් ඩුසන් තීරණාත්මකයි. ඔවුන් දෙදෙනාම දඟ පන්දු යවන්නන් හට සාර්ථකව මුහුණ දෙනවා. ශ්‍රී ලංකාවට අවසාන වශයෙන් වැඩිම අවධානයට ලක් කළ යුතු පිතිකරුවා වන්නේ ඩේවිඩ් මිලර් ය. ඔහුට පිටියේ ස්ථාවර වෙමින් ලොකු පහරවල් වලට යෑම වැලැක්වීම සිදු කළ යුතුයි.
ශ්‍රී ලංකාව දෙසින් කුසල් පෙරේරා යම්තාක් දුරකට තම රිද්මය සොයා ගනිමින් සිටීම වැදගත් වනවා. ඔහු මෙම තරඟයේදී අවශ්‍ය රිද්මයට අවතීර්ණ වීම මෙන්ම ආරම්භක කඩුල්ල සඳහා පැතුම් නිස්සංක ගෙන් ලැබෙන දායකත්වයද වැදගත් කාරණා ලෙසින් හඳුන්වන්නට පුලුවන්. විශේෂයෙන්ම චරිත් අසලංකගේ සාර්ථකත්වය සමගින් ශ්‍රී ලංකා මැදපෙලින් ලැබෙන සහයෝගය ලැබීම අනිවාර්ය කාරණයක් වනවා. ඕස්ට්‍රේලියා තරඟයේ මෙන් නොවී මැදපෙල පිතිකරුවන් තම වගකීම ඉටුකළ යුතුයි. විශේෂයෙන්ම අවිශ්ක ප්‍රනාන්දු ලකුණු අතරට පිවිසීම වැදගත්.
පන්දු යැවීම
පන්දු යැවීම ගත් කළ කණ්ඩායම් ද්විත්වයටම සාර්ථක දඟ පන්දු යවන්නන් මෙන්ම රිද්මයේ පසුවන හොඳ වේග පන්දු යවන්නන්ද සිටිනවා. දකුණු අප්‍රිකානු දඟ පන්දු යැවීමේ බලඇණිය පසුගිය සංචාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සාර්ථක වූවා මෙන් නොවී ඔවුන්ව යම්කිසි සීමාවකට කොටු කළ යුතුයි. ශ්‍රී ලංකාව දෙසින් වනිඳු හසරංග මෙන්ම මහීෂ් තීක්ෂණ ද තමන්ගේ වගකීම මනාව ඉටුකළ යුතුයි. වේග පන්දු යවන්නන් අතරින් අන්රික් නෝකියේ සහ කාගිසෝ රබාඩා දෙදෙනාම චමීර සහ ළහිරු කුමාර දෙදෙනාට වඩා අත්දැකීම් බහුල පන්දු යවන්නන් දෙපළක් ලෙසින් හඳුන්වන්නට පුලුවන්. නමුත් චමීර සහ ළහිරු කුමාර යන දෙදෙනා මේ වන විට තමන්ට කළ හැකි බව ඔප්පු කර ඇති නිසාවෙන්ම දිනයේ වේග පන්දු යැවීමේ වාසියද ශ්‍රී ලංකාවට ලබා ගැනීමට විශාල හැකියාවක් තිබෙනවා.
පිටියේ වාසිය සහ හැසිරීම
සාජා ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානයේ ක්‍රීඩා කරන තුන්වන තරඟය මෙය වනවා. කලින් ක්‍රීඩා කළ තරඟ ද්විත්වයේම ජය ශ්‍රී ලංකාව සතු වුණා. මේ නිසාවෙන් පෙර තරඟයට වඩා ශ්‍රී ලංකාවට පිටියේ වාසිය හිමි වනවා. ඒ වගේම මෙම තණතීරු වලදී ශ්‍රී ලංකාව විසින් නෙදර්ලන්තය ලකුණු 44 කට සීමා කිරීමත් බංග්ලාදේශයට එරෙහිව ලකුණු 171ක් හඹා යෑමත් යන කාරණා විශේෂයි.
තණතීරුව ඊයේ පැවති කොදෙව් බංග්ලාදේශ තරඟයේදීද මන්දගාමී ලෙසින් හැසිරුණා. මීට පෙර පැවති නවසීලන්ත පාකිස්තාන තරඟයත් අඩු ලකුණු තරඟයක් ලෙසින් නිමාවට පත් වනවා. මේ හේතුවෙන් පිතිකරුවන් අවශ්‍ය පරිදි කඩුලු ආරක්ෂා කරගැනීම වැදගත්. කෙසේ වුවත් පසුගිය IPL තරඟාවලියේදී මෙන්ම මෙවර ලෝක කුසලානයේදීත් දෙවනුව පන්දුවට පහර දෙමින් ඉලක්කය හඹා ගොස් ජයග්‍රහණය කැපී පෙනෙන කාරණයක් බවට පත්ව තිබෙනවා. මේ නිසා අද දිනයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම බොහෝ දුරට ප්‍රථමයෙන් පන්දු යැවිය හැකි බව විශ්වාස කළ හැකියි.[/vc_column_text][/vc_column][/vc_row]