ස්ථාන 73ක් වෙනුවෙන් අපෙන් 39ක් ලංසු ඉදිරිපත් කළ IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙන්නේ මෙහෙමයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැත්නම් IPL තරගාවලිය කියන්නේ ලෝකයේ දැනට පවතින ජනප්‍රියතම ලීග් ක්‍රිකට් තරගාවලිය. මෙම තරගාවලියේ එක් විශේෂිත අංගයක් තමයි සෑම වසරකදීම සිදුවන ක්‍රීඩක වෙන්දේසිය. 2020 වසර IPL තරගාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය සිදු කිරීමට නියමිතව ඇත්තේ එළඹෙන 19 වන දා කොල්කටා වලදී. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 39 දෙනෙකු ලංසු ඉදිරිපත් කිරීම හා ඔවුන්ට ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වීමට ඇති සම්භාවිතාවය පිළිබඳව සටහනක් තමයි මේ.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ලංසු ඉදිරිපත් කිරීම පසුගිය නොවැම්බර් 30 වනදා අවසන් වුණා. ඒ අනුව ක්‍රීඩකයන් 971 දෙනකු සිය ලංසු ඉදිරිපත් කිරීමට කටයුතු යොදලා තියෙනවා. මේ ක්‍රීඩකයන් 971 අතර ඉන්දීය ක්‍රීඩකයන් 713ක් හා විදේශීය ක්‍රීඩකයන් 258ක් සිටිනවා. විදේශීය ක්‍රීඩකයන් වැඩිම ප්‍රමාණයක් ලංසු තැබූ රට ලෙස ඕස්ට්‍රේලියාව පත්වන්නේ ක්‍රීඩකයන් 55 දෙනෙකු මේ සඳහා ලංසු ඉදිරිපත් කරමින්. මීට අමතරව ද.අප්‍රිකාවේ ක්‍රීඩකයන් 54ක් , අපෙන් 39ක් , නවසීලන්තයයෙන් 24ක් එංගලන්තයෙන් 22ක් , බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් 34ක් ,ඇෆ්ගන් ක්‍රීඩකයන් 19ක් , බංගලාදේශ ක්‍රීඩකයන් 6ක්, සිම්බාබ්වේ ක්‍රීඩකයන් තිදෙනෙකු නෙදර්ලන්ත හා එක්සත් ජනපද ක්‍රීඩකයන් එක් අයෙකු බැගින් මෙම ක්‍රීඩකයන් 258 තුළ රැඳී සිටිනවා.

ක්‍රීඩකයන් 971 දෙනෙකු සිය ලංසු ඉදිරිපත් කළද උපරිම ක්‍රීඩකයන් 73 දෙනෙකුට පමණයි 2020 IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවනුයේ.

එම ක්‍රීඩකයන් 73 බෙදී ගොස් ඇත්තේ විදේශීය ක්‍රීඩකයන් 29 දෙනෙකුට හා ඉන්දීය ක්‍රීඩකයන් 44 දෙනෙකුට ඉඩ ප්‍රස්ථාව ලැබෙන ආකාරයටයි..

මෙලෙස ක්‍රීඩකයන් සීමා වීමට ප්‍රධානතම හේතුව වන්නේ එක් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් කණ්ඩායමකට තම සංචිතය තුල රඳවා ගත හැකි උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව 25ක් වීමත් එම ක්‍රීඩකයන් තුළ / සංචිතය තුළ සිටිය හැකි උපරිම විදේශීය ක්‍රීඩකයන් සංඛ්‍යාව 8ක් වීමත් කණ්ඩායමකට ක්‍රීඩක වෙන්දේසියේදී වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණයක් තිබීමත් නිසයි.

උදාහරණයක් ලෙස විරාට් කෝලි නායකත්වය දරණ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සිය සංචිතයෙන් ක්‍රීඩකයන් වැඩි පිරිසක් ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කිරීම හේතුවෙන් මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී ඔවුන්හට ඉන්දීය රුපියල් කෝටි 27.9ක මුදලක් වියදම් කිරීමේ හැකියාවක් තිබෙනවා. එසේ ම ඔවුන්හට ක්‍රීඩකයන් 12 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාවක් ඇති අතර විදේශීය ක්‍රීඩකයන් 6 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාව ඔවුන් සතු වෙනවා.( මේ මොහොතේදී බැංගලෝර් කණ්ඩායම සතුව සිටින විදේශීය ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ මොයින් අලී හා බෙන්ජමීම් ඩිවිලියර්ස් පමණයි.)

එසේම ලසිත් මාලිංග ක්‍රීඩා කරන මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හට ක්‍රීඩකයන් 7 දෙනෙකු මිලදී ගැනීමේ හැකියාවක් ඇති අතර එම 7 දෙනා අතරට විදේශීය ක්‍රීඩකයන් දෙදෙනකු මිලදී ගැනීමේ හැකියාවක් පවතිනවා. ඔවුන්ට වියදම් කළ හැකි උපරිම මුදල වන්නේ ඉන්දීය රුපියල් කෝටි 13.05ක් පමණයි.

එසේම මෙම ලංසු මුදල් ඉදිරිපත් කළ ක්‍රීඩකයන් 971 දෙනා අතරින් ඒ ඒ කණ්ඩායමට අවශ්‍ය ක්‍රීඩකයන්ගේ නාම ලේඛනයක් දෙසැම්බර් මස 9 වනදා සවස 5 ට පෙර එක් එක් කණ්ඩායම් වල කළමනාකාරීත්වය විසින් ලබාදිය යුතු වෙනවා.

උදාහරණයක් ලෙසට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හට ඇන්ජලෝ මැතිව්ස් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔවුන් ඇන්ජලෝගේ නම දෙසැම්බර් 9 වනදාට පෙර ලබා දීම සිදුකළ යුතුයි. මෙහිදී එම ක්‍රීඩකයාගේ මූලික ලංසු මුදල , මුම්බායි කණ්ඩායම සතුව වියදම් කිරීමට ඇති මුදල් ප්‍රමාණය හා ඔවුන්හට මිලදී ගැනීමට හැකි විදේශීය ක්‍රීඩකයන් ප්‍රමාණය පිළිබඳව සලකා බැලීමක් සිදු කරනවා..මෙය එක් උදාහරණයක් පමණයි.

ඉන් අනතුරුව දෙසැම්බර් මස 19 වනදා එක් එක් කණ්ඩායම විසින් ක්‍රීඩක ලංසුව වෙනුවෙන් ඉදිරිපත් කළ ක්‍රීඩකයන් වෙන්දේසි කිරීම ආරම්භ කරනවා.

උදාහරණයක් ලෙස ක්‍රීඩක වෙන්දේසියේදී ඇන්ජලෝ මැතිව්ස් සිය මූලික ලංසු මුදල ලෙස ඉදිරිපත් කළ ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලින් ඔහුට ලන්සු තැබීම ආරම්භ වනවා.

මේ අවස්ථාවේදී මුම්බායි කණ්ඩායම ලංසු තැබීම ආරම්භ කරන අතර වෙනත් කිසිදු කණ්ඩායමක් ඇන්ජලෝ කෙරෙහි උනන්දුවක් නොමැති නම් මුම්බායි කණ්ඩායම හට ඉන්දීය රුපියල් කෝටි 2ක මූලික මුදලට ඇන්ජලෝ මිලදී ගැනීමේ හැකියාවක් පවතිනවා. එසේ ඇන්ජලෝ මිලදී ගත්තා යැයි උපකල්පනය කළහොත් මුම්බායි කණ්ඩායමට තවත් මිලදී ගත හැක්කේ 1 විදේශීය ක්‍රීඩකයෙකු පමණයි. එසේම ඔවුන්ගේ මුදල් සංචිතයෙන් ඉන්දීය රුපියල් කෝටි දෙකක මුදලක් අඩු වනවා.

මෙසේ ක්‍රීඩකයන් අවසන් වෙන්දේසියට එක් එක් කණ්ඩායම් ඉදිරිපත් කළද ඔවුන් වෙන්දේසි නොවන්නේ වෙන්දේසියේදී බලාපොරොත්තු නොවූ ක්‍රීඩකයන් අඩු මුදලකට ලබාගැනීමට හැකිවීම හෝ අත්‍යවශ්‍යම ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩි මිළක් වෙන්දේසියේදී ගෙවීමට සිදුවීමත් නිසා වේ. එසේම තම මුදල් සංචිත ඉතිරි වුවහොත් දෙවනි වටයේදී යම් වටිනාකමක් සහිත ක්‍රීඩකයන් මූලික ලංසුවෙන්ම ලබාගැනීම අරමුණු කොටගෙන ක්‍රීඩකයන් ලංසුව වෙත කණ්ඩායම් විසින් ඉදිරිපත් කරනවා.
උදාහරණයක් ලෙස ගියවර ශූරයන්වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම යුවරාජ් සිං දෙවන වටයේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටියකට ලබා ගත් අතර ඔහු ලබාගැනීම ඒ තුළින් මුම්බායි කණ්ඩායම තම සංචිතයට 20-20 තරග අත්දැකීම් විශාල ප්‍රමාණයක් සහිත ක්‍රීඩකයකු එකතු කර ගනු ලැබුවා.

මේ අනුව උපරිම විදෙස් ක්‍රීඩකයන් 29 දෙනෙකු වෙන්දේසි වීමට නියමිත 2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 39ක් ලංසු ඉදිරිපත් කළද ඔවුන් අතරින් කීදෙනෙකු දෙසැම්බර් 19 වනදා පැවැත්වෙන අවසන් ලංසුව වෙත ඉදිරිපත් වේද යන්නත් සැක සහිතයි.

චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top