අපරාජිත සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ මූලික වටයේ B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින්.

අද දිනයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පරාජයට පත්වුණේ බංග්ලාදේශ දහනමයෙන් පහළ කණ්ඩායම‍යි. තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් පන්දුවාර 49 පන්දු දෙකකදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 228ක් රැස් කළා. අගනා ඉනීමක් ක්‍රීඩා කළ විමත් දින්සර පන්දු 132කදී හතරේ පහර දහයක් සමඟින් ලකුණු 106ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් අල් ෆහාඩ් ලකුණු පනහට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වුණා.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන බංගලාදේශ ආරම්භක පිතිකරු කලාම් සිද්දිකී අගනා ලකුණු 95ක් රැස්කිරීමට සමත් වුවත් සෙසු පිතිකරුවන්ට සාර්ථක වන්නට ශ්‍රී ලංකාවේ ඔවුන් පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව පන්දුවාර 49යි පන්දු 3ක් තුළ බංග්ලාදේශ යොවුන් ඉනීම ලකුණු 221කට සීමා වුණා.පන්දු යැවීමේදී විහස් තෙව්මික ලකුණු 37කට කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව මූලික වටයේ ක්‍රීඩාකළ තෙවන තරඟයෙන් ලකුණු හතක තියුණු ජයක් වාර්තා කරමින් B කාණ්ඩයේ ප්‍රමුඛයා ලෙසින් අවසන් පූර්ව වටේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.

Back To Top