[vc_row][vc_column][vc_column_text]
එලඹෙන කුසලාන තරඟාවලිය සඳහා වන ඉන්දීය කණ්ඩායමට දකුණු දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එක්වීමට නියමිත බව වාර්තා පළකොට ඇත. ඒ ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ අක්ෂාර් පටෙල් වෙනුවටයි. ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන සංචිත වෙනස් කිරීමට ඇති අවසාන දිනය අද වන අතර හෙට දිනයේ සිට සිදු කරන වෙනස්කම් තාක්ෂණික කමිටුවේ අනුදැනුම මත සිදුවිය යුතුය.
අශ්වින් කණ්ඩායමට පැමිණියහොත් 2011 ලෝක ශූර ඉන්දීය කණ්ඩායමේ සිටි දෙවන ක්‍රීඩකයා ලෙසින් ඔහු මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වනු ඇත. අක්ෂාර් පටෙල් ආබාධයට ලක්වූ පසු ඕස්ට්‍රේලියාව සමගින් පැවති තරගාවලිය වෙනුවෙන් අජිට් අගාකර් ප්රමුඛ ඉන්දීය තේරීම් කමිටුව විසින් අශ්වින්වව යළිත් කණ්ඩායමට කැඳවනු ලැබීය. නමුත් පටෙල්ගේ ආදේශකය ලෙසින් නම් කළ වොෂින්ටන් සුන්දර් හා අශ්වින් යන දෙදෙනාම ඕස්ට්‍රේලියානු තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කළහ.
ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු තරග දෙක වෙනුවෙන් අශ්වින් ක්‍රීඩා කළ අතර පළමු තරඟයේ දී ලකුණු 47 කට එක් කඩුල්ලක් ද දෙවැනි තරගයේදී ලකුණු 41 කට කඩුලු තුනක් ද බිඳ හෙළීමට ඔහු සමත් විය. වොෂින්ටන් සුන්දර් හෙට දිනයේදී ආසියානු ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් චීනයට යාමට නියමිත බවත් අශ්වින් කණ්ඩායමට ඇතුළත් වනු ඇති බවත් EspnCricinfo වෙබ් අඩවිය වාර්තා කොට ඇත.[/vc_column_text][/vc_column][/vc_row]