ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නිරීක්ෂණයකට එක් වෙමිණි.

මේ සදහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර යන මහත්වරුන් ද එක් විය.

එහිදී අදහස් දැක් වූ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා,

“දේශපාලනය, පක්ෂ බේද, මෙතෙක් සිදුවූ අඩුපාඩු අමතක කරලා වැඩ පටන් ගමු, හැබැයි සිදු කළ හොරකම්, වංචා, දූෂණ අමතක කළ නොහැකියි. අපගේ අරමුණ මානව දයාව පිරි සමාජයක් ගොඩනැගීම. ඒ සදහා වංචාවෙන්, දූෂණයෙන් තොර රටක් බිහි කළ යුතුයි.

ආයතන තුළ සිදුවෙන වංචා, දූෂණ කෙළින්ම අපිට ඇවිත් කියන්න. මින් පෙර එසේ කීමට ඔබට නොහැකි වූණා. ඒ අමාත්‍යවරයාගේ සිට ඉහළ නිළධරීන් කොතනක හෝ සම්බන්ධ වී සිටි නිසා. දැන් එහෙම නැහැ. බිය නොවී අප සමග එකතු වෙන්න.

වර්තමාන තරුණ පරපුර මත්ද්‍රවලින් මුදවා ගැනීම, මේ රට දාලා යන එක නවත්වා ගැනීමට, රැකියා සුරක්ෂිතභාවය රැකදීමට අපි කටයුතු කළ යුතුයි. ඒ සදහා සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියට මහගු මෙහෙයක් ඉටු කළ හැකියි.

ජනාධිපතිවරයා ඇතුළු අපේ නව රජයේ අරමුණ ජාතිවාදී නැති, ආගම්වාදී නැති සමාජයක් ගොඩනගා රට දියුණු කිරීමයි. ජාතික සමගිය ඇති කිරීම අපේ ප්‍රමුඛ කාර්‍යක් වී තිබෙනවා. අපි ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරමු. කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන ජාතික සැළසුමකට අනුව අපි වැඩ ආරම්භ කළ යුතුයි.

ජයග්‍රහණ නොමැති ක්‍රීඩා ජයග්‍රහණ කරා ගෙන යාම, ජයග්‍රහණ ලබන ක්‍රීඩා වඩා වැඩි දියුණු කිරීම, ජාතික සමගිය ඇති කිරීමට අපි ක්‍රීඩාව උපයෝගී කරගත යුතු වෙනවා. මෙතෙක් ඒ සදහා කොපමණ දායකත්වයක් දැක්වූවාදැයි සමාලෝචනය කළ යුතු කරුණක්.

ක්‍රීඩාවේ ජයග්‍රහණ අවශ්‍යයි. නමුත් අපි ජයග්‍රහණ පමණක් නොව ජය පරාජය දෙකම හුරු ගුණාත්මක ක්‍රීඩකයෙක් බිහි කළ යුතුයි. පාසල් කාලයේදීම මේ ගුණාංග ක්‍රීඩකයින්ට ලබා දීම අපේ වගකීමක්, යුතුකමක්. අපි පහුගිය කාලයේ සමාජ මාධ්‍යයේ දැක්කා, පාසලක රග්බි කීඩකයින් රණ්ඩු කරනවා. ඒ තත්වය වෙනස් කර ක්‍රීඩකයින් අතර සුහදත්වය, ක්‍රීඩාශීලිත්වය වැඩිදියුණු කළ යුතුයි.

බිම් මට්ටමින්, ගමේ පාසලෙන් බිහි වී ජාත්‍යන්තර ජයග්‍රහණ රටට දිනා දී කීර්තියක් අත් කර දුන් යුගයේ අති දක්ෂ ක්‍රීඩකයෙක් අද ක්‍රීඩා විෂය භාර නියෝජ්‍ය අමාත්‍යධූරය දරනවා. ඒක අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබපු වාසනාවක්. සුගත් තිලකරත්න වැනි ක්‍රීඩකයින්ගේ අත්දැකීම් ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් බොහෝ වටිනවා.”

සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ පාලනය වන ක්‍රීඩාංගනයන්හි යටිතල පහසුකම් සංවර්ධනය, සුගතදාස එළිමහන් ක්‍රීඩාංගණයේ කෘතිම ධාවන පථය නවීකරණය, සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරීශ්‍රයේ පර්චස් 73 ක කොටසක් ගැසට් පත්‍රයක් මගින් පෞද්ගලික හිමිකරුවෙක් වෙත පවරා දීම, සුගතදාස ක්‍රීඩා හෝටලය විධිමත් සැළස්මකට අනුව සංවර්ධනය කිරීම, අධිකාරිය වෙත අය විය යුතු ලක්ෂ 70 ක පමණ හිඟ මුදල් නොගෙවන ආයතන, ක්‍රීඩා සමාජ, දේශපාලන පක්ෂ පිළිබදව, නියෝගයකට අනුව පවරා දුන් නුවරඑළිය තුරඟ තරග පිටිය, ඛෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, බෝගම්බර ක්‍රීඩාංගණය, බෙලිඅත්ත පිහිණුම් තටාකය වැනි කරුණු ගණනාවක් පිළිබද එහිදී අමාත්‍යවරයාගේ අවධානයට යොමු විය.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභාපති ගාමිණී වික්‍රමපාල, එහි අධ්‍යක්ෂ එච්.එම්.සී.බී.හේරත් යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Back To Top