ආරම්භය හොඳ නැති වුණත් ඉදිරි තරග ජය ගන්නවා – වනිඳු

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර් 19.1කදී ලකුණු 77කට දැවී ගිය අතර, දකුණු අප්‍රිකානු පිල ඕවර 16.2කදී කඩුලු 4 ක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය.

නිව්යෝක් නුවර නස්සාවූ ක්‍රීඩාංගණයේ තණතිල්ල අස්වාභාවික ලෙස හැසිරෙමින් පිතිකරුවන්ට තර්ජනයක් ගෙන දුනනේය. කෙසේ වුවද මීළඟ තරගයේදී කණ්ඩායමේ උපරිමය ලබාදී ජයග්‍රහණය කිරීම තම අරමුණ බව නායක වනිඳු හසරංග තරගයෙන් අනතුරුව පැවැතකි මාධ්‍ය හමුවකදී පවැසීය.

“ඇත්තටම මේක හොද ආරම්භයක් නොවෙයි. අපේ උපරිමය මීළඟ තරගයේදී දෙනවා. අපට යමක් කළ හැකි කණ්ඩායමක්. අපට හොද පන්දු බළ ඇනියක් සිටිනවා. විශේෂයෙන්ම අපේ වේග පන්දු යවන්නන් නව පන්දුවෙන් හොදින් පන්දු යැව්වා. ඒ නිසා අඩු ලකුණු ගණනකදී වුණත් දකුණු අප්‍රිකාවට තර්ජනයක් වුණා. ඉදිරි තරගවලදී අප හොද ලකුණු ගණනක් ගෙන තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වෙන්න අපේක්ෂා කළා. දකුණු අප්‍රිකාව සමඟ තරගයේදී යම් විදිහකින් ලකුණු 120ක්, 130ක් ගහන්න පුලුවන් වුණා නම් මේ තරගයේ ප්‍රතිඵලය මෙයට වඩා වෙනස්“ වනිඳු හසරංග පැවැසීය.

“පසුගිය දවස් කිහිපයේ අප ඉතාම කාර්ය බහුල වුණා. පැය එකහමාරක් විතර තරගය දිනයේ උදෑසන අපට ගමන් කිරීමට වුණා. පළමු තරග දෙක ස්ථාන 4ක තියෙන්නේ. නිව්යෝක් ඉදන් ඩලස් වෙත යා යුතුයි. ඉන් පස්සේ අපි ෆ්ලොරීඩා වෙත. අපි මේ තණතිලි ගැන දන්නේ නෑ. අපිට පුහුණු තරග දෙකක් පමණයි තිබුණේ. ඒ නිසා ඊළඟ තරගය ගැන තවම කියන්න බෑ. සමහර විට තණතිල්ල දැක්කාම කියන්න පුඵවන්. අපේ ස්ට්‍රෙන්ත් එක පන්දු යැවීම. අවසන් විස්සයි20 තරග කිහිපයම තරගය ජය ගත්තේ දෙවැනියට පන්දු යවලා. කණ්ඩායමක් හැටියට කතා කරලා තීරණ ගන්නේ. දකුණු අප්‍රිකාවට ලොකු පීඩනයක් දුන්නා. ඕවර් 16ක් වනතුරු අපි පන්දු යැව්වා ඔවුන්ට ලකුණු 70 ගහන්න. අපි ගත්ත තීරණයේ වරදක් නෑ. අපේ ඉලක්කයේ වරදක් වුණේ. තණතිල්ල එතරම් අමාරු වුණත් අපේ ඉලක්කය ලොකු එකක් වුණා. එතැන වරදක් වූ බව පස්සේ අපට තේරුම් ගියා. ලකුණු 125ක් 130ක් විතර ගන්න ඉලක්කයක් වුණා නම් වෙන ක්‍රීඩාංගණයක ලකුණු 180ක් විතර. අපිට ක්‍රිඩකයින් අතර අදහස් හුවමාරු වුණා මදි. තරගය යද්දී අපට කතා කරගෙන ලකුණු 120ක් පසු කරගන්න තිබුණානම් ඒක ඇති තරගය දිනන්න“

“අපි උත්සහා කළේ ලකුණු 160කට වැඩියෙන් ගන්න. ඒක තමයි අපට වුණ වැරද්ද. ගහන පහරවල් වේගයෙන් ගමන් කළේ නෑ. අපි ලකුණු 130ක් විතර උත්සහ කළානම් වෙන ක්‍රීඩාංගණයක ඒක ලකුණු 180ක් විතර. පවර් ප්ලේ එකේදී අපි ලකුණු 25ක් විතර ගහලා තිබුණේ. මම උඩින් ආවේ දඟ පන්දුවට පහරදීලා ලකුණු වැඩියෙන් ගන්න. අවාසනාවකට දැවී ගියා. මේ දේ මම කලින් කර තිබෙනවා. සාර්ථක වෙලා තියෙනවා. ඉදිරියේදීත් අවශ්‍ය වුණොත් කණ්ඩායම සමඟ කතා කරලා උඩින් ඇවිත් පන්දුවට පහර දෙනවා“

“මතීෂ පතිරණ පරණ පන්දුවෙන් දෝලනයක් ගන්නවා. අලුත් පන්දුවෙන් දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස් හා නුවන් තුෂාර හොදින් පන්දු යැව්වා. මතීෂගෙන් අපට අවශ්‍ය වුණේ කඩුලු 3ක්, 4ක් වැටුණාම ඇවිත් පිතිකරුවන්ට පීඩනය යොදන එකයි. ඔහු ඒක හොදින් කළා. අප පන්දු යවද්දී ලකුණු පුවරුවේ තිබූ ලකුණු ගණන මදි වුණා. ක්‍රීඩාලෝලීන් විශාල සහයක් දුන්නා. ශ්‍රී ලංකා දිරිගන්වන්නන් සෑම පැත්තකින්ම ඇවිත් හිටියා. නමුත් ඔවුන්ට හොද පහරවල් දකින්න වුණේ නෑ. විස්සයි20 තරගවලට මේ තණතිල්ල හොද නෑ. ඇතැම් වේලාවට සෙමින්, තවත් වේලාවක වේගයෙන් පන්දුව එනවා. වෙනස්කම් තිබුණා“ වනිඳු හසරංග පැවැසීය.

Back To Top