[vc_row][vc_column][vc_column_text]එළඹෙන ජූනි මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මෙවර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය ද පැවැත්වීමට නොහැකි වනු ඇති බව පාකිස්තාන ක්රිකට් ආයතනයේ සභාපති එහ්සාන් මනී පවසනවා.
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සහ අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබීම හේතුවෙන් ආසියානු කුසලානය සදහා කාලයක් වෙන් කර ගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්රී ලංකාවට හිමිව ඇති බැවින් එම තරගාවලිය ලබන වසරේ දී මෙරට දී පැවැත්වෙනු ඇති බව “Jang” පුවත්පත වෙත අදහස් දක්වමින් පාකිස්තාන ක්රිකට් ආයතනයේ සභාපතිවරයා සදහන් කළා.
ඒ අනුව ලබන වසරේ පාකිස්තානයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය 2023 වසරේ දී එරට දී ම පැවැත්වීමටයි අවධානය යොමුව ඇත්තේ.
ඒ වන විට පාකිස්තානය සහ ඉන්දියාව අතර දේශපාලනික සබදතා යහපත් අතට හැරී පවතිනු ඇති බවට තමන් විශ්වාස කරන බවත්, ඒ අනුව ඉන්දීය කණ්ඩායමට ද පාකිස්තානයට පැමිණ ආසියානු කුසලාන තරගාවලියට ක්රීඩා කිරීමේ අවස්ථාව හිමි වනු ඇති බවත්, එහ්සාන් මනී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ක්රීඩා කිරීමට සිදු වන බැවින් ඉන්දියාව දෙවන පෙළ කණ්ඩායමක් ආසියානු කුසලාන තරගාවලියට සහභාගී කරවන බවට පල වන වාර්තා සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් කිසිදු නිල දැනුම් දීමක් ලැබී නොමැති බවයි පාකිස්තාන ක්රිකට් ආයතනයේ සභාපතිවරයා සදහන් කර සිටියේ.[/vc_column_text][/vc_column][/vc_row]