ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික කුසලානයේදී ශ්‍රී ලංකාවට තෙවන තැන

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates Sevens Trophy රග්බි තරගාවලිය ඔක්තෝබර් මස 04 සහ 05 යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වුණා. මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් එක්වද්දී ශ්‍රී ලංකාව තරග බිමට අවතීර්ණ වුණේ C කාණ්ඩය යටතේයි.

ඊයේ දිනයේ දී පැවති මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී මුණගැසුනේ අසල්වැසි ඉන්දියාවයි. මෙම තරගය ලකුණු 22-0ක් ලෙසින් පහසුවෙන් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සිංහ පුතුන් සමත් වුණා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ආකාෂ් මධුසංඛ උත්සාහක දිනුම් 2ක් සහ එක් ප්‍රවර්ථනයක් සමගින් ලකුණු 12ක් රැස්කරද්දී සචිත් සිල්වා සහ ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම බැගින් වාර්තා කළා.

අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත් වූයේ පිලිපීන කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධය අවසානයේ දී ලකුණු 7-0ක් ලෙසින් පෙරමුණ හිමිකරගැනීමට පිලිපීන කණ්ඩායම සමත් වුණා.

දෙවන අර්ධය තුළදී කණ්ඩායම් දෙකම උත්සාහක දිනුම් 2ක් සහ ප්‍රවර්ථනයක් සාර්ථක කරගනිමින් ලකුණු 12 බැගින් රැස්කිරීමට සමත් වුණත් පළමු අර්ධයේ ලද වාසියෙන් තරගයේ ජය පිලිපීනය සතු වුණා. තරගයේ අවසන් ලකුණු සටහන දිස්වුණේ 19-12 ලෙසයි.ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනිදු සහ තරින්ද උත්සාහක දිනුම බැගින් රැස්කිරීමට සමත් වුණා.

අනෙක් අවසන් පූර්ව තරගයේදී චීන තායිපේ කණ්ඩායම හමුවේ පරාජයට පත් වූ උස්බෙකිස්තාන කණ්ඩායම තෙවන ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසියා. මෙම තරගය ලකුණු 32-0ක් ලෙසින් පහසුවෙන් ජයග්‍රහණය කරමින් තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශාකිබ් සූරි උත්සාහක දිනුම් 2ක් සමගින් ලකුණු 10ක් රැස්කරද්දී හේෂාන් ජන්සෙන්, ජනිදු දිල්ෂාන්, කවිදු පෙරේරා සහ ලහිරු තිලකරත්න එක් උත්සාහක දිනුම බැගින් වාර්තා කළා.

අවසන් තරගයේ දී චීන තායිපේ කණ්ඩායම ලකුණු 27ට 14ක් ලෙසින් පරාජයට පත් කළ පිලිපීනය තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. කාන්තා තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ද පිලිපීනය සමත් වුණේ අවසන් මහා තරගයේදී ලකුණු 7-5ක් ලෙසින් ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම ජයග්‍රහණයත් සමගින් පිලිපීන පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩායම් 2025 වසරේ පැවැත්වෙන ආසියානු රග්බි එමිරේට්ස් සීරීස් තරගාවලියට සුදුසුකම් ලැබුවා.

Back To Top