ආසියානු ශූරියන්ගේ ලෝක කුසලාන ගමන පරාජයකින් ඇරඹෙයි

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය වෙනුවෙන් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග බිමට අවතීර්ණ වුණා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි.

සාජා හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස තුළ සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත් වුණා.

පාකිස්තාන ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නායිකා ෆාතිමා සනා ඉනීමේ අගභාගයේ දී පන්දු 20ක් තුළ වේගවත් ලකුණු 30ක් රැස්කිරීමට සමත් වුණා. ඇගේ ඉනීමට හතරේ පහර 3ක් සහ එක් හයේ පහරක් ඇතුළත්.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුගන්ධිකා කුමාරි, චමරි අතපත්තු සහ උදේශිකා ප්‍රබෝදනී කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් හිමිවූ ඉලක්කය ලකුණු 117ක්.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාව දෙදෙනකුට හැර සෙසු අන් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 10 සීමාව පසුකරන්නට ප්‍රතිවාදී පන්දු යවන්නියන් ඉඩ තැබුවේ නැහැ. ඉනීමේ වැඩිම ලකුණු ලාභිනිය වූ නිලක්ෂි ද සිල්වා පන්දු 25කදී ලකුණු 22ක් ද රැස්කරද්දී විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස අවසාන දී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණයි. පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් සාධියා ඉක්බාල් කඩුලු 3ක් ද ෆාතිමා සනා, නෂ්‍රා සදූ සහ ඔමයිමා සොහයිල් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

තරගයේ වීරවරිය සම්මානය හිමිවුණේ පාකිස්තාන ෆාතිමා සනාටයි. ආසියානු ශූරියන් ලෙසින් කිරුලු දැරූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාමට නම් ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ නවසීලන්තයට එරෙහි තරග ජයග්‍රහණය කිරීමට සිදු වනවා.

Back To Top