ආසියානු ශූරියන් පිට පිට දෙවන තරගයත් පරාජයට පත් වෙයි

කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරඟය අද සාජා හිදී පැවැත්වුණා. ඒ පසුගිය වර ලෝක ශූරියන් ලෙසින් කිරුලු දැරූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පිත්ත අතට ගන්නට තීරණය කළා. නමුත් පෙර තරගයේදී මෙන්ම අද දිනයේත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු අතරට පිවිසීමට අවස්ථාවක් හිමි වුණේ නෑ.

ඉනිමේ වැඩිම ලකුණු ලාබිනිය වූ නිලක්ෂි සිල්වා පන්දු 40කදී නොදෙවී ලකුණු 29ක් රැස්කිරීමට සමත් වුණා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23කින් සහ අනුෂ්කා සංජීවනී ලකුණු 16කින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නංවන්නට දායක වුණා.

සෙසු කිසිදු පිතිකාරණයකට ලකුණු දහයේ සීමාව ඉක්මවන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නයන් ඉඩ තැබුවේ නැහැ. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකාවන්ට කඩුලු හතක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 93ක් පමණයි.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී මේගන් ෂට් ලකුණු 12කට කඩුලු 3ක් සහ සොපී මොලිනියූ ලකුණු 20කට කඩුලු 2ක්ද දවාගැනීමට සමත් වුණා.

ලකුණු 94ක ඉලක්කය වෙනුවෙන් පිටියට පිවිසෙන ඕස්ට්‍රේලියානු ඉනීමේ පළමු කඩුලු 3 ලකුණු 35ක් තුළදී බිදහෙලන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. නමුත් ආරම්භක පිතිකාරිණිය වූ බෙත් මූනි සිය අත්දැකීම් උපයෝගී කරගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුණා.

ඇය පන්දු 38කදී හතරේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 43ක් රැස්කළේ ජයග්‍රාහී ලකුණත් සිය පිත්තෙන්ම වාර්තා කරමින්. ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 14 පන්දු 2කදී කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උදේශිකා, ඉනෝකා සහ සුගන්ධිකා එක් කඩුල්ල බැගින් දවාගැනීමට සමත් වුණා. මෙම පරාජයත් සමගින් B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය තෙක් පසුබසින්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

Back To Top