ඇලන් ඩොනල්ඩ් බංගලාදේශ වේගපන්දු පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි.

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඇලන් ඩොනල්ඩ් එළඹෙන 11වන දා පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා බංගලාදේශ තරගයෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානමින් සිටියි.

පසුගිය බ්‍රහස්පතින්දා පූනේහි පැවති කණ්ඩායම් රැස්වීමක් අතරතුර ඔහු විසින් තමන් ගත් මෙම තීරණය පිළිබඳව දන්වා සිටි බව බංගලාදේශ ක්‍රිකට් පාලන මණ්ඩල ප්‍රධානියෙකු විසින් පැවසීය.

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් බංගලාදේශ වේග පන්දු බල ඇණියේ වගකීම භාරගත් ඩොනල්ඩ්, තම වගකීම නිසි පරිදි ඉටු කළ බැවින් ඔහුගේ ගිවිසුම මේ වන විට පැවැත්වෙන ICC ලෝක කුසලාන තරගාවලිය දක්වා දීර්ඝ කිරීමට බංගලාදේශ ක්‍රිකට් පාලන මණ්ඩලය කටයුතු කර තිබුණි.

පසුගිය නොවැම්බර් මස 06වන දා දිල්ලි හීදී ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ දී බංගලාදේශ නායක ශකිබ් අල් හසන් විසින් ලබා ගත් මැතිව්ස්ගේ ආන්දෝලනාත්මක කඩුල්ල පිළිබඳ ඇලන් ඩොනල්ඩ් විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව බංගලාදේශ ක්‍රිකට් පාලන මණ්ඩලය විසින් පසුගිය නොවැම්බර් මස 08 වන දා ඔහුගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි අතර ඔහු එයට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොතිබුණි.

“ඔවුන් පැහැදිලි කිරීමක් ඉල්ලුවට මට කමක් නෑ. මට තේරෙන විදියට ඒ පැහැදිලි කිරීම ප්‍රවෘත්තිවල තිබුණා.” යනුවෙන් සඳහන් කළ ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවර ලෝක කුසලානයෙන් පසුව බංගලාදේශ කණ්ඩායම සමඟ කටයුතු කිරීම පිළිබඳව තමන්‍ගේ කිසිදු කැමැත්තක් නොමැති බවයි.

Back To Top