ඉන්දීය පුහුණුකරු ධූරය තවදුරටත් රාහුල් ඩ්‍රාවිඩ්ට

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කොට ඇත. ඩ්‍රාවිඩ් ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක් සේවය කළ අතර එම ගිවිසුම් කාල සීමාව එක්දින ලෝක කුසලානයත් සමඟ අවසන් විය. හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රාහුල් ඩ්‍රාවිඩ් 2021 T20 ලෝක කුසලානයෙන් පසුව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් විය.

ලෝක කුසලාන තරගාවලිය පරාජයට පත් වීම හමුවේ ප්‍රධාන පුහුණුකරු ධූරය VVS ලක්ෂ්මන්ට ලබාදීමේ සූදානමක් පිළිබඳව ඉන්දීය මාධ්‍ය මින් පෙර වාර්තා කොට තිබුණි. නමුත් අද දිනයේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කොට සිටියේ රාහුල් ඩ්‍රාවිඩ් ඇතුලු සෙසු පුහුණුකරුවන්ගේ ගිවිසුම් කාල සීමාව තවදුරටත් දීර්ඝ කිරීමටයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් තවදුරටත් කටයුතු කරනු ඇත. සෙසු පුහුණුකරුවන් ලෙස වික්‍රම් රාතෝර්(පිතිකරණ), පරාස් මාබ්‍රේ(පන්දු යවන), ටී දිලීප්(පන්දු රකින) කටයුතු කරනු ඇත. නමුත් ඩ්‍රාවිඩ් ඇතුලු පුහුණු කාර්‍ය මණ්ඩලයේ ගිවිසුම කෙතරම් කාලයකට දීර්ඝ කොට ඇත්දැයි BCCI සදහන් කොට නොමැත.

Back To Top