එංගලන්තය කඩුලු 4ක් අතැතිව ලකුණු 23ක් ඉදිරියෙන්

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර එංගලන්තයේ මැන්චෙස්ටර්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිමට පන්දුවට පහර දෙන එංගලන්ත පිල ශ්‍රී ලංකා පිලට වඩා කඩුලු 4ක් අතැතිව ලකුණු 23කින් ඉදිරියෙන් සිටී. දෙවැනි දිනය නිමා වෙද්දී එංගලන්ත පිල කඩුලු 6කට ලකුණු 259ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පිල පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 236ට පිළිතුරු ලෙසිනි.

අද දෙවැනි දිනයේ උදෑසන වර්ෂාව පතිතවීමෙන් තරගය පැය 2යි මිනිත්තු 15ක කාලයක් ප්‍රමාද කිරීමට සිඳුවිය. දිවා විවේකයෙන් පසු පස්වරු 1.15ට තරගය ආරම්භ වූ අතර, වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු එංගලන්ත පිලේ මුල් කඩුලු 4ම දවා ගැනීමට සමත් විය. එහෙත් 5 වැනි කඩුල්ලට හැරී බෘෘක් හා ජෙමී ස්මිත් එක්ව පන්දු 83කදී ලකුණු 62ක සම්බන්ධතාවක් ගොඩ නැගීමෙන් එංගලන්ත ඉනිම යම් දුරකට ස්ථාවර විය. හැරී බෘෘක් සිය 9 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව ප්‍රභාත් ජයසූරිය එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 56කට දැවී ගියේය. 

අනතුරුව 6 වැනි කඩුල්ලට ජෙමී ස්මිත් සමඟ එක්වූ ක්‍රිස් වෝකස් පන්දු 110කදී ලකුණු 52ක් එත්තළ අතර, වෝකර්ස්ගේ කඩුල්ලට කෙළින්ම පන්දුව ප්‍රභාත් ජයසූරිය යොමු කිරීමෙන් ලකුණු 25කට දැවී ගියේය. දෙවැනි දිනය නිමාවද්දී ජෙමී ස්මිත් නොදැවී ලකුණු 72ක් හා ඇට්කින්සන් නොදැවි ලකුණු 4ක් ලබා දිටියහ. එංගලන්ත ක්‍රීඩකයෝ ඕවරයකට ලකුණු 4.24ක වේගයෙන් පන්දුවට පහරදීම කැපී පෙණෙන සිදුවීමක් විය.

මෙම තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනා මුලින් පන්දුවට පහරදීමේදී වැඩි ගෞරව අත්කර ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ. සටන්කාමී ක්‍රීඩාවක නිරත වූ ධනංජය ද සිල්වා සහ මිලාන් රත්නායක අර්ධ ශතක රැස් කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236 දක්වා ඉහළට රැගෙන ආහ.

පළමු දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිල ඕවර 4කදී කිසිවකු නොදැවී ලකුණු 22ක් රැස් කර තිබිණි. මෙම ටෙස්ට් තරගයේදී ජාත්‍යන්තර වරම් දිනාගත් 28 හැවිරිදි මිලාන් රත්නායක හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟ පන්දු 135කින් ලකුණු 72ක් රැස් කර ගත්තේය. මෙයට අමතරව නායක ධනංජය ද සිල්වා පන්දු 84කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 74ක් ගපා ගත්තේය.

පන්දු යැවීමේදී ක්‍රිස් වෝක්ස් සහ ෂොයිබ් බෂීර් කඩුලු 3ක් බැගින් බිඳ දැමූ අතර, ගස් අට්කින්සන් කඩුලු 2 බැගින් දවා ගත්තේය. වේග පන්දු යවන මිලාන් රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් හිස්වැස්ම පැලඳි 166 වැනි ක්‍රීඩකයා බවට ඊයේ පත් විය. 

ශ්‍රී ලංකාව පළමු ඉනිම
නිශාන් මධුෂ්ක ඇ.රූට් ප.වෝක්ස්                      04
දිමුත් කරුණාරත්න ඇ.ස්මිත් ප.ඇට්කින්සන්        02
කුසල් මෙන්ඩිස් ඇ.බෘෘක් ප.වුඩ්                         24
ඇන්ජලෝ මැතිව්ස් ක.මු.ක. ප.වෝක්ස්              00
දිනේෂ් චන්දිමාල් ක.මු.ක. ප.බෂීර්                      17
ධනංජය ද සිල්වා ඇ.ලෝරන්ස් ප.බෂීර්                74
කමිඳු මෙන්ඩිස් ඇ.ස්මිත් ප.වෝක්ස්                    12
ප්‍රභාත් ජයසූරිය ඇ.ස්මිත් ප.ඇට්කින්සන්              10
මිලාන් රත්නායක ඇ.වෝක්ස් ප.බෂීර්                 72
විශ්ව ප්‍රනාන්දු දුවද්දි දැවී ගියා                            13
අසිත ප්‍රනාන්දු නොදැවී                                     00
අතිරේක                                                         08
එකතුව ඕවර් 74කදී සියලු දෙනා දැවී                  236

කඩුලු බිඳ වැටීම: 1 - 6, 2 - 6, 3 - 6, 4 - 40, 5 - 72, 6 - 92, 7 - 113, 8 - 176, 9- 226, 10 - 236
පන්දු යැවීම: වෝක්ස් 11-3-32-3, ඇට්කින්සන් 16-3-48-2, පොට්ස් 9-0-48-0, වුඩ් 8-0-31-1, බෂීර් 23-4-55-3, රූට් 7-2-18-0.

එංගලන්ත පළමු ඉනිම

බෙන් ඩකට් ක. මුවා කළා. ප. අසිත ප්‍රනාන්දු      18
ඩෑන් ලෝරන්ස් ඇ. චන්දිමාල් ප. විශ්ව ප්‍රනාන්දු  30
ඔලී පොප් ප. අසිත ප්‍රනාන්දු                              06
ජෝ රූට් ඇ. චන්දිමාල් ප. අසිත ප්‍රනාන්දු            42
හැරී බෘෘක් ප. ජයසූරිය                                      56
ජෙමී ස්මිත් නොදැවී                                         72
ක්‍රිස් වෝකස් ප. ජයසූරිය                                   25 
ඇට්කින්සන් නොදැවී                                        04
අතිරේක                                                          06
එකතුව ඕවර් 61කදී කඩුලු 6ක් දැවී                      259    

කඩුලු බිඳ වැටීම: 1 - 30, 2 - 40, 3 - 67, 4 - 125, 5 - 187,  6 - 239

පන්දු යැවීම: ධනංජය 2 - 0 - 14 - 0, ජයසූරිය 21 - 5 - 58 - 2, අසිත ප්‍රනාන්දු 14 - 0 - 68 - 3, විශ්ව ප්‍රනාන්දු 13 - 0 - 51 - 1, මිලාන් රත්නායක 9 - 0 53 - 0, 2 - 0 - 13 - 0
Back To Top