ඔවුන් අපිව අභිබවා ගියා. පියවර දෙකක් අපිට වඩා ඉදිරියෙන් සිටියා – පීටර් සිලර්

[vc_row][vc_column][vc_column_text]

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයේ අවසන් තරඟය නිමාවට පත්වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 8 ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දෙමිනුයි. මෙම තරඟයේදී නෙදර්ලන්තය ලකුණු 44 කට දැවී ගිය අතරම එය සටහන් වූයේ විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

එහි පළමුවැන්න ලෙසින් 2014 වර්ෂයේදී නෙදර්ලන්තයම ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 39 කට දැවී යාමත් සුවිශේෂ සිදුවීමක් ලෙසින් නම් කළ හැකි වනවා. මේත් සමගම ශ්‍රී ලංකාව අපරාජිතවම සුපිරි 12 වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා. තරඟයේ වීරයා ලෙසින් සුපිරි පන්දු යැවීමක් සමග නෙදර්ලන්ත කඩුලු 3ක් බිඳ හෙලූ වේග පන්දු යනව ළහිරු කුමාර සම්මානයට පාත්‍ර වුණා. තරඟයෙන් අනතුරුව ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සහ පරාජිත නෙදර්ලන්ත කණ්ඩායමේ නායක පීටර් සීලර් මෙලෙස තම අදහස් ප්‍රකාශ කොට සිටියා,

ජයග්‍රාහී ශ්‍රී ලංකා නායක දසුන් ශානක,

“පන්දු යවන්නන් ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කළා. මම මේ සුදුසුකම් ලැබීමේ තරඟ තුනේදීම පන්දු යැව්වේ නෑ. අපිට පන්දු යවන්නන් 6 දෙනෙක් ඉන්නවා. අපි දන්නවා එමගින් ලබාගන්න පුලුවන් ප්‍රයෝජන සහ වෙන්න පුලුවන් හානි මොනවද කියලා. මේ විදිහට ඉදිරියට යාමට ලැබීම විශාල ධන ලකුණක් විදිහට මට හඳුන්වන්න පුලුවන්.”

පරාජිත නෙදර්ලන්ත නායක පීටර් සීලර්,

“කාරණය ඉතාම සරලයි. ශ්‍රී ලංකාව මුළු තරඟයේදීම අපිව අභිබවා ගියා. ඔවුන් මුළු කාණ්ඩයම අභිබවා ගියා. ඔවුන් පියවර දෙකක්ම ඉදිරියෙන් සිටියා. ඉදිරියේදී අපට දකුණු අප්‍රිකාව සමග සහ නවසීලන්තය සමගින් තරඟ සංචාර දෙකක් හිමි වනවා. එම තරඟාවලි සම්බන්ධයෙන් අපි දැන් අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකාව තරඟයට ඉතාමත්ම හොඳින් අවතීර්ණ වුණා. තරඟාවලියේ අපේ වැඩිම ලකුණු ලාභියා පළමු පන්දුවාරයේදීම දුවද්දී දැවී යාමත් අපට විශාල පාඩුවක් විදිහට කියන්න පුලුවන්”

ඒ වගේම නෙදර්ලන්ත ඉනිම අවසන් වූ පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් සුපිරි පන්දු යැවීමක් සටහන් කළ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා,

“අපේ පන්දු යැවීම සහ පිතිකරණය කියන අංශ දෙකම දැන් හරිම මාර්ගයට වැටිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් සතුටුයි. දුශ්මන්ත චමීර සහ ළහිරු කුමාර මේ වෙද්දි ඉතාමත්ම හොඳ රිද්මයකින් පන්දු යවමින් ඉන්නවා. අලුත් ක්‍රීඩක මහීෂ් තීක්ෂණත් විශිෂ්ට ලෙසින් පන්දු යවනවා. මම මේ වෙද්දි ආකාර දෙකකින් පන්දු යවනවා. එම ආකාර දෙකම උපයෝගී කරගෙන කඩුල්ල වෙතට පන්දු යවන්නයි මම උත්සාහ කරන්නේ. ඒ වගේම ලකුණු ලබා නොදී පන්දු යැවීමටත් මම උත්සාහ කරනවා.”

මේත් සමගින් ශ්‍රී ලංකාව සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. සුපිරි 12 වටයේ පළමු තරඟය ඔක්තෝබර් 24 ඉරිදා ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමගින් සාජා ක්‍රීඩාංගනයේදීම තරඟ වැදීමට නියමිත වනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට සුපිරි 12 වටයේදී ලැබෙන තරඟ කාලසටහන පහත පරිදි දැක්විය හැකියි,

1 තරඟය ඔක්තෝබර් 24 බංග්ලාදේශය සමග සාජා ක්‍රීඩාංගනයේදී (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30)

2 තරඟය ඔක්තෝබර් 28 ඕස්ට්‍රේලියාව සමග ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30)

3 තරඟය ඔක්තෝබර් 30 දකුණු අප්‍රිකාව සමග සාජා ක්‍රීඩාංගනයේදී (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30)

4 තරඟය නොවැම්බර් 01 එංගලන්තය සමග සාජා ක්‍රීඩාංගනයේදී (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30)

5 තරඟය නොවැම්බර් 04 බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග අබුඩාබි හි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගනයේදී (ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30)

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top