ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණයක්

ඔස්ට්‍රේලියාවට එරෙහිව ලැබූ දැවැන්තම එක්දින තරග ජයග්‍රහණය සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම, අද සමත් වුණා. ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති දෙවැනි එක් දින ක්‍රිකට් තරගය, ලකුණු 174 කින් ජය ගනිමින්. ඒ, සමගින් තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය, 2 ට බින්දුවක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

‍කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පරදීමට තීරණය කළා. ඒ අනුව, ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ නිෂාන් මදුෂ්ක. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 15 ක් ලබා සිටියදී, පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 6 කට දැවී ගියා. පසුව, දෙවැනි කඩුල්ලට ලකුණු 98 ක සබඳතාවක් ගොඩනැගීමට නිෂාන් මදුෂ්ක සහ කුසල් මෙන්ඩිස් සමත් වුණා. නිෂාන් මදුෂ්ක සිය එක්දින පිටියේ, දෙවැනි අර්ධ ශතකය අද ලබා ගත්තා.
ඔහු ලකුණු 51 කට දැවී ගියා. තම එක්දින ක්‍රිකට් දිවියේ 5 වැනි ශතකය වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා. කුසල්, ලකුණු 101 යි. නායක චරිත් අසලංක නොදැවී ලකුණු 78 ක් ලබා ගත්තා. චරිත් අසලංක අද වාර්තා කළේ, 15 වැනි එක්දින අර්ධ ශතකයයි.

ජනිත් ලියනගේ නොදැවී ලකුණු 32 යි. ඒ අනුව, පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 281 ක් ලබා ගත්තා. ලකුණු 282 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 2 කදී සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 107 ක් පමණයි. ඔස්ට්‍රේලියාව, ආසියානු රටකදී එක්දින තරගයක දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව මෙයයි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ නායක ස්ටීවන් ස්මිත් ලකුණු 29 ක් රැස් කළා. දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට සාර්ථක වීමට ඉඩ ලබා දුන්නේ නැහැ. දුනිත්වෙල්ලාලගේ කඩුලු 4 ක් දවා ගත්තා. අසිත ප්‍රනාන්දු සහ වනිදු හසරංග අතර කඩුලු 3 බැගින් බෙදී ගියා. ශ්‍රී ලංකාව ලකුණු 174 කින් තරගය ජය ගත් අතර, එය ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ලැබූ එක්දින තරග ජයග්‍රහණය ලෙස, වාර්තා පොත් අතරට එක් වුණා. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. තරගාවලියේ වීරයා සම්මානය චරිත් අසලංකට හිමි වුණා.

Back To Top