කාන්තා පිලට පාසල් ක්‍රීඩිකාවකුත්

[vc_row][vc_column][vc_column_text]

2022 වසරේදී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ වෙනුවෙන් සිම්බාබ්වේහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නියෝජනය කිරීම සඳහා ක්‍රීඩිකාවන් 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ප්‍රකාශයට පත් කර තිබේ. රටවල් 10 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම චමරි අතපත්තුට පැවැරී තිබේ.

චමරිගේ සහායිකාව ලෙස හර්ෂිතා මාධවීව නම් කර ඇති මෙම කණ්ඩායමට පාසල් ක්‍රීඩිකාවක් වන විශ්මි රාජපක්ෂවද එක් කිරීම කැපී පෙනෙයි. ගම්පහ රත්නාවලී බාලිකා විදුහල නියෝජනය කරනු ලබන විශ්මි දක්ෂ ආරම්භක පිතිකාරිණියක් ලෙසින් කණ්ඩායමට එක්ව සිටින්නීය. ඇයට අමතරව කණ්ඩායමට එක්ව සිටින අලුත්ම මුහුණු වන්නේ ඉමේෂා දුලානි සහ සචිනි නිසංසලාය. රත්ගම දේවපතිරාජ විදුහලින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණව සිටින මොවුන් ගෙවී ගිය කාල සීමාවේදී සංවර්ධිත සංචිත සහ නැගී එන කණ්ඩායම්වල දක්වන ලද දක්ෂතා හරහා ජාතික කණ්ඩායමට පැමිණීමට වරම් ලබා සිටින්නියන් වේ.

නම් කර ඇති නවක ක්‍රීඩිකාවන්ට වැඩි අත්දැකීම් සම්භාරයක් ලබා ගැනීම අරමුණු කොට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පස් දෙනෙකු කණ්ඩායමට එක් කර තිබේ. ඒ අතර හිටපු නායිකා ඉනෝකා රණවීරද පසුවෙයි. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට වරම් ලබා සිටින චමරි අතපත්තුට අමතරව උදේශිකා ප්‍රබෝධනී, ප්‍රසාදිනී සහ ඕෂධී රණසිංහ ද නම් කරන ලද කණ්ඩායමේ සෙසු ජ්‍යෙෂ්ඨයෝ වෙති.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් අනුමැතිය ලබා දී තිබෙන මෙම කණ්ඩායමට තවත් අතිරේක ක්‍රීඩිකාවන් පස් දෙනෙකුද නම් කර තිබෙන අතර උමේෂා තිමාෂනී, කාව්‍යා කාවින්දි, මදශිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, සහ ලිහිණි අප්සරා එම ක්‍රීඩිකාවෝ වෙති.

කණ්ඩායම් 10 කගේ සහභාත්වයෙන් කාණ්ඩ 2 ක් යටතේ පැවැත්වෙන මූලික තරග වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 5 කට තරග වැදීමට නියමිතය. ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රභලම ප්‍රතිවාදීන් වන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වේ. ඊට අමතරව අයර්ලන්තය, නෙදර්ලන්තය, පැපුවා නිව්ගිනියාව ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රතිවාදීහු වෙති. බංග්ලාදේශය, පාකිස්තානය, තායිලන්තය, ඇමරිකාව සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම් ‘බී’ කාණ්ඩය යටතේ යටතේ තරග වදිති.

ලීග් ක්‍රමය යටතේ පැවැත්වෙන එම තරග වටයේ ඒ ඒ කාණ්ඩ වල පෙරමුණට ගනු ලබන කණ්ඩායම් 3 නැවතත් සුපිරි කණ්ඩායම් 6 ක තරග වටයකට සුදුසුකම් ලබන නමුත් එහිදී ප්‍රතිවාදී කාණ්ඩ සමඟ පමණක් එදිරිවාදීන් ලෙසින් තරග වැදීමට නියමිතය. ඒ අනුව එක් කණ්ඩායමකට ප්‍රතිවාදී කාණ්ඩයේ සිටින කණ්ඩායම් 3 සමඟ තරග කිරීමේ අවස්ථාව උදාවන අතර එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට සමත්වන කණ්ඩායම් තුන 2022 වසරේ නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සඳහා වරම් ලබනු ඇත. එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය යන රටවල් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා සිටිති.

මෙම ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය ලබන නොවැම්බර් 21 වැනිදා සිම්බාබ්වේදී ආරම්භවීමට නියමිතය. මූලික සැලසුමට අනුව මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ ගෙවී ගිය 2020 වසරේදී ශ්‍රී ලංකාවේදීය. ජූලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලියට කොවිඩ් වෛරසයේ බලපෑමත් සමඟ එය කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සිදුවූ අතර පසුව මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය මෙම වසරේ නොවැම්බර් මසදී සිම්බාබ්වේහිදී පැවැත්වීමට තීරණය කෙරිණ.

ශ්‍රී ලංකා කාන්තා පිල  – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා මාධවී (උප නායිකා), නිලක්ෂි ද සි්වා, හසිනි පෙරේරා, සුගන්දිකා කුමාරි, ඕෂදී රණසිංහ, අමා කාංචනා, උදේශිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, අනුෂ්කා සංජීවනී, කවීෂා දිල්හාරි, තාරිකා සෙව්වන්දි, ප්‍රසාදිනී වීරක්කොඩි, ඉමේෂා දුලානි, විශ්මි රාජපක්ෂ, සචිනි නිසංසලා.

අතිරේක ක්‍රීඩිකාවන් – උමේෂා තිමාෂිනී, කාව්‍යා කාවින්දි, මදුශිකා මෙත්තානන්ද, සත්‍යා සංදීපනී, ලිහිණි අප්සරා.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top