[vc_row][vc_column][vc_column_text]නිලානී රත්නායකට ඔලිම්පික් අහිමි වුණා ද? මෙය මලල ක්‍රීඩා ක්ෂේත්රයේ සියලු දෙනාට මේවනවිට ඇති ගැටලුවක් ලෙස පෙන්වා දිය හැක.ඒ, පරිසාධන මට්ටම පසු කිරීමට තිබූ කාලයට පෙර මාධ්‍ය හරහා නිලානී ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගත් බවට පළවීමත් සමගයි.
ජූනි මස 29 වැනි දා මධ්‍යම රාත්‍රිය තෙක් සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව පැවති අතර, ඒ වනවිට නිලානී පසුවුනේ 46 වැනි ස්ථානයේයී. එම ඉසව්වට සුදුසුකම් ලබන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් ලකුණු අනුව 45 දෙනෙකු පමණි. කෙසේ නමුත් ඉන් අනතුරුව ද නිලානිට අවස්ථා කිහිපයක් හිමිව තිබුණේ, සෙසු රටවල් වලින් සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවන් ඉවත්වීමේ හැකියාව පැවතීම හේතුවෙන්.
ඒ අනුව ඊයේ දිනය දක්වා පැහැදිලිව සුදුසුකම් ලැබීම තහවුරු කිරීමේ අවස්ථාවක් හිමි නොවීය.නිලානිට, තරගාවලියක දී වූ ආසාධාරණයක් නොසලකා හැරීමක් සම්බන්ධයෙන් ද ගැටලු කාරී තත්ත්වයක් මතුවිය. කොවිඩ් හමුවේ කිසිදු තරගාවලි පැවැත්වීමට නොහැකි වීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරග අවස්ථා අවම කරවීය.මෙම වසර ආරම්භ වන විට ලෝක ශ්‍රේණීගත කිරීම් අනුව මීටර් 3000 බාධක දිවීම් ඉසව්වට තෝරාගන්නා ක්‍රීඩිකාවන් 45 අතරින් නිලානී 34 වැනි ස්ථානයේ පසුවූවාය
කෙසේ වෙතත්, ලොව පුරා ඔලිම්පික් සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් ම තරගාවලි සංවිධානය වුව ද නිලානීට තම ස්ථානය තහවුරු කරගැනීමට ඇති අවස්තා අවම විය.ඒ ශ්‍රේණිගත කිරීම් හී ඉහළ තරගාවලියකට සහභාගී වීමේ අවස්ථාව හිමි නොවීම මත මෙරට පැවති තේරීම් තරගාවලිය හා ජාතික ශූරතාවලිය පමණක් තමන්ගේ ස්ථානය පවත්වාගෙන යෑමට ඉතිරි වීම හේතුවෙනි.
අප්‍රේල් මස පැවති තේරීම් තරගාවලියේ දී ඇයට ජීවිතයේ කෙදිනකවත් අමතක කළ නොහැකි මතක සටහනක් ඉතිරි කළේ, ඇයගේ ඔලිම්පික් සිහිනයද ඒ හේතුවෙන්ම ගිලිහීම හේතුවෙනි.අදාල තරගයේ කඩුලු 5 ම නියමිත උසට වැඩි උසකින් ස්ථාන ගත කර තිබීම හේතුවෙන්, ඇයට වැඩි ආයාසයක් යොදා කඩුලු තරණය කිරිමට සිදුවූවා පමණක් නොවේ. පාදයක් කඩුල්ලේ වැදීම හේතුවෙන් සති කිහිපයක් පුහුණුවීම්ද සිදුකරගත නොහැකිව සිටීමට සිදුවිය.
එවක එම අතපසු වීම නොසලකා හැරිය හැකි වරදක් ලෙස බොහෝ දෙනා අර්ථ දැක්වුව ද එය, මෙරට ක්‍රීඩාවේ හා ක්‍රීඩිකාවකගේ ඔලිම්පික් සහභාගීත්ව බලාපොරොත්තුවක් සුනු විසුනු කළ සිද්ධියක් බව අද වන විට සනාථවී ඇත.
නිලානී එම තරගයේ දී මිනිත්තු 9:57.81 කාලයකින් තරගය නිම කළේ අමතර වෙහෙසක් ද දරමිනි.ඉන් පසුව ආබාදය සුවකරගැනීමෙන් පසුව මැයි මස පැවති ජාතික ශූරතාවලියට සහභාගී වෙමින් නිලානී මිනිත්තු 9:53.96 ක දක්ෂතාවක් දැක්වූවා ය.දෛවයේ සරදමක් ලෙස, අද ඇය ඔලිම්පික් සුදුස්සන් අතරින් ඉවතට විසිවන්නේ ප්‍රසාද ලකුණු 1 ක් අඩු වීමෙනි.
ආබාදයක් නොමැතිව නියමිත පුහුණුවීම් රටාවෙන් ඇය එම තරගයට සහභාගී වී එක් තත්ත්පරයක් අඩුවෙන් තරගය අවසන් කළා නම් අද නිලානීට ඔලිම්පික් වරම් හිමිවීමට ඉඩ තිබිණ.ඇයගේ ආබාදය සුවකරගැනීමට විශේෂ මෙහෙවරක් කළ ප්‍රවීණ සම්බාහක අජිත් තෙන්නකොන් මහතාට හා සහාය දුන් සැමට ස්තූති වන්ත විය යුතුයි.
එදා නියමිත ක්‍රියාපටිපාටියට අනුව මිනුම් උපකරණයකින් උස මැනීමට කටයුතු නොකිරීම හා නොසැලකිල්ලෙන් සිදුකරන මෙවන් අඩුපාඩු ක්‍රීඩාවට සිදුකරන බලපෑම සුලුකොට තැකිය නොහැක.
අවස්ථාව අහිමි වූ නිලානී සංවේදීව තැබූ සටහන පහත දැක්වේ..
නිලානී රත්නායක රත්නපුර සුමන බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා යුද්ධ හමුදා කාන්තා බලකායට එක්වන්නේ ක්රීඩාවටම පමණක් නොවේ.නමුත් ඇයගේ වාසනාව මෙන්ම අද වන විට පත්ව සිටින දුකට හේතුව ලෙස ක්‍රීඩාවට නැවත පා තබන්නේ, සහජ කුසලතාවට වටිනාකමක් ලබා දීමටයි.ඒ ගමනේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඇයගේ සෙවණැල්ල ලෙස රැක බලා ගැනීමට ඇප කැපවී කටයුතු කිරීම හෘදයාංගමව සිහිපත් කළ යුතුවේ.කෙසඟ සිරුරකින් හෙබි මේ ජවසම්පන්න තරුණිය යුද්ධ හමුදාවේ වැඩි දෙනා හඳුනන්නේ යූකේඑන් (UKN) ලෙසයි.
නිලානිගේ ක්‍රීඩා දිවිය පුරාම මතක සටහන් රැසක් ඇතත්, අමතක කළ යුතු අමිහිරි මතක සටහන් ඊට වැඩි බව දන්නේ අතලොස්සක් දෙනා පමණි.මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වේ ප්‍රධාන පෙළේ කිසිදු ක්‍රීඩිකාවක් නොමැතිව වුව ද තනි සටනක් තමන් සමගම කරමින් ශ්‍රී ලංකා වාර්තාව සිව්වරක් අලුත් කිරීමට නිලානී සමත් වීම පැසසිය යුතුය.
නමුත්, මීටර් 3000 බාධක ඉසව්ව මෙරට දී කුඩම්මාගේ සැලකිල්ලට ලක් වූ ඉසව්වක් වීම හේතුවෙන්ම ඊට ආකර්ෂණය වන තරුණ ක්‍රීඩිකාවන් ද වැඩි කලක් ක්‍රීඩා නොකිරීම අභාග්‍ය සම්පන්නය.නිලානීට ඇයගේ ප්‍රධාන ඉසව්ව මෙරටදී වර්ථමානයේ සිදුකිරීමට හැක්කේ කොළඹ සුගතදාස ක්‍රීඩාගණයේ දී පමණක් වීම හේතුවෙන් ඇයට වෙනත් ඉසව් සඳහාද කාලය වැය කිරීමට සිදුවේ.
සජිත් ජයලාල් මහතාගේ මගපෙන්වීම මත පුහුණුකටයුතු සිදුකරන නිලානී රත්නායකට උදව් උපකාර කළ සියලුදෙනාට ක්‍රීඩාවට ආදරය කරන අපගේ ස්තූතිය.2017 වසර නිලානිගේ ක්‍රීඩා දිවියේ වැදගත් වසරක් ලෙස සැලකිය හැකියි.
පළමු වරට ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ඇය ඉන්දියාවේ දී පැවැති ආසියානු ශූරතාවලියට බාධක දිවීමේ ඉසව්වෙන් සහභාගී වුවත් අයට තරගය අවසන් කිරීමට හැකි වූයේ නැත.ඒ ක්‍රීඩිකාවන් වැඩි ගණනක් සමගින් කරට කර තරග කිරීමේ අවස්ථාව මීට පෙර ඇයට හිමිනොවීම හේතුවෙන් විය හැක.
පසුව 2018 වසරේ දී ආසියානු ක්‍රීඩා උළෙලේ දී 6 වැනි ස්ථානයට පත් වන නිලානී 2019 වසරේ ආසියානු ශූරතා තරගාවලියේ දී නැවත අවාසනාවට වාසනාව පූජා කළාය.
පදක්කමක් දැක දැක අවසන් කඩුල්ල තරණය කිරීමේ දී ඇද වැටුණු ඇයට නැවත මානසිකවත් නැගිටීමට සිදුවූයේ බාධක මැඩගනිමිනි.2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ අවස්ථාව ද නිලානීට මගහැරීමේ තත්ත්වයක් උදාවූයේ ඇයගේ වරදකින් නොවේ.2019 දකුණු ආසියානු ක්‍රීඩා උලෙලට ක්‍රීඩක ක්‍රීඩකාවන් තෝරාගැනීමට පැවති ජාතික ශූරතා තරගාවලියට පෙර, මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ඇතුළත් නොවන බව ඇය දැන සිටියේ නැත
ඒ හේතුවෙන් තේරීම් තරගාවලියේ දී මීටර් 3000 බාධක දිවීමේ ඉසව්වට සහභාගී වූ නිලානීට සිදුවූයේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන්නේ නම් මීටර් 5000 ඉසව්වෙන් හෝ සුදුසුකම් සපුරා ගැනීමටයි.මීටර් 3000 බාධක ඉසව්වෙන් දිනකට පසුව මීටර් 5000 ඉසව්වට ඇය සහභාගී වුවත් බලාපොරොත්තු වූ ලෙස තරගය අවසන් කිරීමට හැකි වූයේ නැත.
මතුපිටින් බලද්දී, අය පහසු කාරණයක් ලෙස සිතිය හැකි වුවද, එම ඉසව් දෙක තරගකාරී තත්ත්වයක ධාවනයේ යෙදීම එතරම් පහසු නැත.බලාපොරොත්තු කඩ කර නොගත් නිලානී ඉන් දෙසතියක් යන්නට මත්තෙන් යුද්ධ හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 5000 ඉසව්වට සහභාගීවෙමින් මීටර් 5000 ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට සමත්විය.
නමුත් ජාතික ශූරතා තරගාවලිය,පමණක් සුදුසුකම් සැපිරීමේ අවස්ථාව ලෙස සැලකීම හේතුවෙන් ම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බලපොරොත්තු නිලානීට ගිලිහීයාමට සහෝදර ක්‍රීඩිකාවක් ඉඩ ලබා දුන්නේ නැත.
මීටර් 5000, 10000 හා මැරතන් ඉසව් ත්‍රිත්වයෙන් ම සුදුසුකම් සපුරා දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමට නියමිත වූ හිරුණී විජේරත්න මීටර් 5000 ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව නිලානීට ලබා දුන්නාය.
නිලානී ඊට සාධාරණය ඉටු කරමින් නේපාලයේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උලෙලේ දී රන් පදක්කම් යුගලයකින් (1500 හා 5000) ලක්මාතාව සැරසීමට සමත් වූවාය.(මීටර් 1500 ඉසව්වට සහභාගීවීමට නියමිත වූ නිමාලී ලියනාරච්චි අනතුරකට ලක්වීම හේතුවෙන් පසුව නිලානීට තරග කිරීමේ අවස්ථාව හිමිවිය.)
එසේම නිලානී එම වසරේ පැවති ලෝක ආරක්ෂක සේවා තරගාවලියේ දී පස්වැනි ස්ථානයට ද පත්වූවාය.මෙවැනි අසාධාරණයන්, කණගාටුදායක සිදුවීම් රැසක් හමුවේ නිලානිට ඔලිම්පික් වරම් අහිමිව යාම ගැන සැබැවින්ම සමාව අයැද සිටිය යුත්තේ නිලානි ද?????[/vc_column_text][/vc_column][/vc_row]