[vc_row][vc_column][vc_column_text]ඉන්දීය කණ්ඩායමේ දැනට සිටින සුපිරිතම වේග පන්දු යවන්නා තමා බව සහභාගී වන සෑම තරගයකදීම ඔප්පු කිරීමට ජස්ප්‍රිට් බුම්රා සමත්ව අවසන්ය. ඉන්දීය කණ්ඩායමේ පමණක් නොව අන්තර්ජාතික එක්දින පන්දු යවනන් ශ්‍රේණිගත කිරීමෙහි අංක එක ස්ථානයේ පසුවන ජස්ප්‍රිට් බුම්රා ඉන්දීය යෝකර් රජු ලෙස හැදින්වූවා කියා වරදක්ද නොමැත. ඒ තරමට ඔහුගේ යෝකර් පන්දුව තියුණු වන අතර පැයට කිලෝමීටර් එකසිය හතළිහ ඉක්මවූ වේගයකින් පිතිකරුවාගේ දෙපාමුල ඔහු පන්දුව පතිත කරණුයේ පිතිකරුවා සසල කරවමිනි.
විශේෂයෙන්ම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වත් සමගින් මෙම යෝකර් පන්දුවෙහි ත්‍රිවතාවය දෙගුණ තෙගුණව පිතිකරු වෙත ඇදී එම නිසා ඔහු වඩාත් සාර්ථකව ඇත.ජස්ප්‍රිට් බුම්රාගේ මෙම යෝකර් පන්දුවේ ආරම්භය නොමැති නම් ඉතිහාසය පිටුපස ඇත්තේ මවගේ එක් ඉල්ලීමක් වන අතර එය ඉල්ලීකටත් වඩා මවගේ කොන්දේසියක් හෝ විධානයක් ලෙසට අර්ථ දැක්විය හැකිය.
ජස්ප්‍රිට් බුම්රා උපත ලබන්නේ 1993 වසරේ දෙසැම්බර් මස 06 වනදා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයට අයත් අහමදාබාද්හි මධ්‍යම පාංතික පංජාබි පවුලකය. ඔහුගේ පියා ජස්වීර් සිං මහතා වෘත්තියයෙන් ව්‍යාපාරිකයෙකු වන අතර ධල්ජිට් වන මව විදුහල්පතිනියක ලෙස සේවය කළාය.
බුම්රාගේ වයස අවුරුදු 07 වනවිට ඔහුගේ පියා වන ජස්වීර් සිං හෙපටයිටීස් බී නම් රෝගී තත්වය හේතුවෙන් මෙළොව හැරගිය අතර ධල්ජිට් වන මවගේ දෙවුර මත කුඩා බුම්රාගේ හා ඔහුගේ සොහොයුරියගේ වගකීම් පැවරිනි.
බුම්රා සිය මවගේම පාසලේ අධ්‍යාපනය හැදෑරූ අතර ඉන්දීය පංජාබි පවුල්හි වැඩිහිටියන් තුළ දක්නට ලැබෙන එක් බලාපොරොත්තුවක් වන දරුවන් උස් මහත්වූ පසු කැනඩාව හෝ ඕස්ට්‍රේලියාවේ වැනි විදේශ රටක අධ්‍යාපනයට යොමු කිරීම බුම්රාගේ මවගේ සිතෙහිද තිබූ ප්‍රධානතම බලාපොරොත්තුව විය. එසේවුවද බුම්රා වයස අවුරුදු 12 පමණ වනවිට දැඩි ලෙස ක්‍රිකට් තරග රූපවාහිනියෙන් නැරඹීමට පුරුදුව සිටි අතර ඔහුගේ එකළ ප්‍රියතම පන්දු යවන්නා බවට පත්වූයේ හින්දුස්ථානයේ ප්‍රතිවාදී රටවූ පාකිස්තානයේ වසීම් අක්‍රම්ය.
අනතුරුව ඔහුද කෙමෙන් කෙමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවීම සිදුවිය. නමුත් ඔහු අකමැති එක් කරුණක් වූයේ නිවසින් පිටතට ගොස් දැඩි හිරු රශ්මියේ ක්‍රීඩා කිරීමය. ඔහු පාසල් නිමවී නිවසට පැමිණ නිවස තුළදීම ක්‍රීඩා කිරීම සවස් යාමයේ කෙටි නින්දකට හුරුව සිටි බුම්රාගේ මවට මහත් පීඩාවක් විය. ඇය බුම්රා වෙත කොන්දේසියක් ඉදිරිපත් කරමින් නිවස තුළ තවදුරටත් ක්‍රීඩා කිරීමට අවශ්‍ය නම් එම කොන්දේසියට එකග විය යුතු බව අවධාරණය කළාය.
ඇගේ කොන්දේසිය ලෙස ඇය ඉදිරිපත් කළේ නින්දට බාධාවක් නොවන ලෙස ශබ්ද ඇති නොකරමින් ක්‍රීඩා කළයුතු වන්න වේ.මේ කොන්දේසියට එකගවූ බුම්රා ශබ්ද නොඇසෙන සේ පන්දු යැවීමට තීරණය කරන ලදි. ඔහු එහිදී භාවිතා කළ උපක්‍රමය වන්නේ කෙටි දුරක් පියවර ත බා පොළව හා බිත්තිය එකට එකවන ස්ථානය නොයසේනම් ස්කේටින් එකට පන්දු යැවීමටය. මෙහිදී පන්දුව බිම පතිත වීමක් සිදුනොවන නිසා ඉතා අඩු ශබ්දයක් පමණක් ඇසෙන අතර මවගේ නින්දට කිසිදු බාධාවක් නොවූ නිසා ඔහු නිවස තුළ පන්දු යවනවාට මවගෙන් කිසිදු බාධාවක් එල්ල නොවිය.
ඔහු මෙලෙස සෑම දිනකම සවස බිත්තිය හා පොළව එකිනෙකාට හමුවන ස්ථානය ඉලක්ක කොටගෙන පමණක් පන්දුව යොමුකල අතර පන්දු යැවීමේදී දිගු දුරක් දිවීමට තිබූ ඉඩකඩ ප්රශ්නය හේතුවෙන් ඔහු කෙටි දුරක් පමණක් පියවර තබමින් පන්දු යැවීමට හුරුවිය.
ඔහුගේ ප්රයත්නය සාර්ථකවූ අතර පාසල් ක්‍රිකට් කණ්ඩායම , MRF වේග පන්දු යවන්නගේ ඇකඩමිය හා ඉන් අනතුරුව ගුජරාට් ප්‍රාන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඔහුව තෝරා ගැනුණි. එහිදී ඔහු දැක්වූ දස්කම් හේතුවෙන් සයිඩ් මුෂ්ඨාක් අලි පන්දුවාර 20 -20 තරගාවලිය වෙනුවෙන් ගුජරාටි ප්‍රාන්ත කණ්ඩායමට ඔහුව කැදවීමට ගුජරාටි ප්‍රාන්ත ක්‍රිකට් සංගමය තීරණය කළ අතර එහිදී ඔහු ක්‍රීඩා කල ප්‍රථම තරගයේදීම තරගයේ වීරයා වන්නට ඔහු සමත්විය.
මෙම දස්කම හා සුවිශේෂී ඉරියවවකින් පන්දු යවන ක්‍රීඩකයා පිළිබඳව එක් සුවිශේෂී පුද්ගලයෙකුගේ නෙත ගැටුණි. ඔහු අන්කවරෙකු නොව හිටපු ඉන්දීය ප්‍රධාන පුහුණුකරුවෙකු හා ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සදහා සුදුසු නවක ක්‍රීඩකයන් සොයා යෑම සදහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් පත්කොට සිටි ජෝන් රයිට් ය. ජෝන් රයිට් වහාම ඔහු පිළිබඳව මුම්බායි ඉන්දියන්ස් බලධාරීන් දැනුවත් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2013 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවාරය සදහා මුම්බායි ඉන්දියන්ස් තරග කොන්ත්‍රාත්තුවක් බුම්රාට හිමිවිය.
ඔහු මුම්බායි කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කළ ප්‍රථම තරගයේදීම ළකුණු 32 කට කඩුලු 3 ක් දවාගත් අතර ඒ කඩුලු තුන තුළට ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලිගේ කඩුල්ලත් අයත් විය.
ඉන් අනතුරුව ක්‍රමයෙන් මුම්බායි කණ්ඩායමේ හා ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පන්දු යැවීමේ තුරුම්පුව බවට බුම්රා පත්වූ අතර විවිධ පුහුණුකරුවන්ගේ ඇසුර තුළින් හා ඔහුගේ කැපවීම මත ඔහු අද වනවිට දිගු ගමණක් පැමිණියද තවමත් මවගේ නින්ද වෙනුවෙන් ඇය ඉදිරිපත් කළ කොන්දේසිය අකුරටම ඉෂ්ඨ කරමින් කෙටි දුරක් පියවර නගමින් පිතිකරුවන්ගේ දෙපා මුළට බිහිසුණු යෝකර් පන්දු එල්ල කරමින් සිටී.
– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]