ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි

මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක අවම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවීමත් සමගයි.ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා.

අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක ටෙම්බා බව්මා ලකුණු 70යි. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 03 බැගින් බිඳ හෙලුවා. ප්‍රභාත් ජයසූරිය සහ විශ්ව ප්‍රනාන්දු අතර කඩුලු 02 බැගින් බෙදී ගියා. පිළිතුරු ලෙස
ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ කළේ, පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න. ශ්‍රී ලංකා ලකුණු පුවරුව 7ක් වන විට ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වුණා. දකුණු අප්‍රිකා වේගපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකාවේ සියලු පිතිකරුවන් අසාර්ථක වූ අතර, ලකුණු 10 සීමාව පසුකළේ, කමිදු මෙන්ඩිස් සහ ලහිරු කුමාර පමණයි.

කමිදු ලකුණු 13ක් රැස් කළ අතර, ලහිරු කුමාර නොදැවී ලකුණු 10යි. පන්දු යැවීමේදී මාකෝ ජැන්සන් ලකුණු 13කට කඩුලු 7ක් බිඳ හෙලුවා.
ශ්‍රී ලංකා ඉනිම ලකුණු 42කට සීමා වූ අතර, එය වාර්තා අතරට එක්වුණේ, ශ්‍රී ලංකා කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක දැවී ගිය අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි. මීට පෙර ශ්‍රී ලංකාව 1994 වසරේදී පකිස්තානය හමුවේ ලකුණු 71කට දැවී ගොස් තිබුණා. මේ අතර, අද ශ්‍රී ලංකාව දැවී ගිය ලකුණු 42 වාර්තා වන්නේ, කිග්ස් මීඩ් ක්‍රීඩාංගනයේ කණ්ඩායමක් ටෙස්ට් ඉනිමක ලබාගත් අවම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

Back To Top