ඩී එස් ක්‍රීඩකයන් ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව පෙරලිකාර ජයක් වාර්තා කරයි.

ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ දෙවන සතියට අදාළ තරග රැසක් ඊයේ සහ අද දිනයේදී පැවැත්විණි. පළමු කොටසේ තරග 8ක් ගෙවුණු සතියේ දී සාර්ථකව නිමා වද්දී පෙරලිකාර ජයක් වාර්තා කිරීමට කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමත් වීම වැඩි කතාබහට ලක් විය.

ගෙවුණු සතියේ පැවති තරග අතුරින් කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලය සමගින් තරග වැදුනේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමයි. අතිශය තියුණු මුහුණුවරක් ගත් තරගයේ නියමිත කාලය අවසන් වන විට ලකුණු 14ට 10ක් ලෙසින් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඩී එස් ක්‍රීඩකයන් සමත් විය.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති තරගයේ දී ලකුණු 24ට 17ක් ලෙසින් ජයග්‍රහණය හිමිකරගත්තේ සාන්ත තෝමස් විද්‍යාලයයි. මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 46ට 03ක් ලෙස පරාජයට පත් කරමින් විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

සහිරා විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවති තරගය ද තියුණු මුහුණුවරක් ගත් අතර එම තරගයේ අවසන් ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 22-26ක් ලෙසින් සාන්ත ජෝසප් ක්‍රීඩකයන්ට ජයක් උරුමකරමිනි. තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව පැවති තරගය ලකුණු 70-3ක් ලෙසින් ජයග්‍රහණය කළේ වෙස්ලි විද්‍යාලයීය කණ්ඩායමයි.

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවති තරගය ලකුණු 12-32ක් ලෙසින් පහසුවෙන් ජයගන්නට ධර්මරාජ ක්‍රීඩකයන්ට හැකිවිය. ගෙවුණු සතියේ පැවති තරග අතුරින් අවදානය යොමු වූ තවත් තරගයක් වූයේ රාජකීය විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගයයි. නමුත් මෙම තරගය ලකුණු 25ට 10ක් ලෙසින් පහසුවෙන් ජයගන්නට රාජකීය ක්‍රීඩකයන්ට හැකිවිය. විද්‍යා විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති තරගයේ දී ලකුණු 19ට 09ක් ලෙසින් ජයග්‍රහණය හිමි වූයේ ඉසිපතන විද්‍යාලයටයි.

Back To Top