දැවැන්ත ජයකින් ශ්‍රී ලංකාව වසර 27 ක ඉතිහාසය වෙනස් කරයි

කලකට අමතක නොවන තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ඉන්දියාවට එරෙහිව අද (07 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින තරගයේදී ලකුණු 110 ක අති විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වූහ. ශ්‍රී ලංකා කණ්ඩායම තම මව්බිමේදී සහභාගිවූ 300 වැනි එක්දින තරගය ලෙසින් සනිටුහන් වුණු අද තරගයේ ජයග්‍රහණයත් සමඟ වසර 27 කට පසුව ඉන්දියාවට එරෙහිව ද්වී පාර්ශ්වික තරගාවලි ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබීමද කැපී පෙනෙන සිදුවීමක් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වතාවට ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කරන ලද්දේ මීට වසර 27 කට පෙර එනම් 1997 වසරේ අගෝස්තු මස පැවැති තරග 3 කින් සමන්විත තරගාවලිය වේ. අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ එදා තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරගාවලිය 3-0 ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්විය. එම තරගාවලියේදී පිත්තෙන් ලකුණු 210 ක් සහ කඩුලු 5 ක් දවා ලමින් තරගාවලීයේ වීරයා ලෙසින් සම්මාන දිනාගැනීමට සමත් සනත් ජයසූරිය, අද තරගාවලි ජයග්‍රහණය වාර්තා කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවා ලෙසින් කටයුතු කිරීමද දෛවෝපගත සිදුවීමක් විය.

ලකුණු 249 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 37 ක් එක් කිරීමට ආරම්භක පිතිකරුවන් සමත් වුවද් දුනිත් වෙල්ලාලගේගේ පන්දුවක් හමුවේ රෝහිත් ෂර්මා දැවී ගියේය. එතැන් පටන් ඉන්දියානුවන්ට හිස එසවීමට වෙල්ලාලගේ ප්‍රමුඛ පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ. ෂර්මාගේ දැවී යෑමෙන් පසු ඉන්දීය ලකුණු පුවරුවට ලකුණු 48 ක් එකතු වන අතර වාරයේදී කඩුලු 7 ක් දවා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

එහෙත් පිටියේ රැඳී සිටි වොෂිංටන් සුන්දර් (30) සහ කුල්දීප් යාදව් එක්ව ශ්‍රී ලංකා ජයග්‍රහණය පමා කළා විනා තරගය බේරා ගැනීමට කිසිවක් කිරීමට අපොහොසත් වූහ. කැපී පෙනන පන්දු යැවීමක නිරත වුණු දුනිත් වෙල්ලාලගේ ඉන්දීය ඉනිමේ කඩුලු 5 ක් ලකුණු 27 ක් ඇතුළත දවා ගැනීමට සමත්වූවේය. මෙය වෙල්ලාලගේගේ එක්දින තරග දිවියේ කඩුලු 5 ක් දවා ගත් දෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය. ඔහු මීට පෙර දවා ගන්නා ලද කඩුලු 5 ද ඉන්දියාවට එරෙහිව ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම දවා ගැනීම ටසමත්වීම කැපී පෙනුණි.

පිට පිටම තුන් වැනි වතාවටත් කාසියේ වාසිය තමන් සතු කර ගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, කිසිදු පැකිළීමකින් තොරව පන්දුවට පහර දීම තෝරා ගත් අතර, නායකයා බලාපොරොත්තු වූ පරිදිම ඉදිරි පෙළින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලැබිණ. ඒ වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක නිරත වුණු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 96 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 45 ක් වශයෙන් ලකුණු ලබා ගත්හ. අවිශ්ක වාර්තාකර ගන්නා ලද මෙම ලකුණු 96 මෙවර තරගාවලියේදී පිතිකරුවකු රැස් කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාමව ලෙසින්ද සනිටුහන් විය.

ඔවුන් දෙදෙනාට අමතරව නැංගුරමක ලීලාවක ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 59 ක් ලබා ගැනීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලකුණු 248 ක් ලකුණු පුවරුවේ රැඳවීමට අවස්ථාව උදාවිය.

ද පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු වූ කොළඹ ආර්. ප්‍රේමදාස තණතීරුවේදී තමන්ට රිසි සේ පන්දුවට පහර දුන් අවිශ්ක ප්‍රනාන්දු මංගල තරගයට සහභාගිවුණු රියාන් පරාග්ගේ න්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව අවාසනාවන්ත ලෙස ශතකය අහිමි කර ගත්තේය. ඒ වන විටත් අවිශ්ක පන්දු 102 කට මුහුණ දෙමින් තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 9 කින් වර්ණවත් කර ගෙන සිටියේය. ඔහු එල්ල කරන ලද හයේ පහර දෙකම මොහොමඩ් ශිරාජ් විසින් යවන ලද එකම පන්දුවාරයකදී එල්ල කරන ලද ඒවා විය.

මෙම තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වූ පන්දු යවන්නා වූයේද ශිරාජ් වන අතර ඔහු යවන ලද පන්දුවාර 9 දී ලකුණු 78 ක් උදුරා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත්වද්දී ඔහු එක් කඩුල්ලක් පමණක් දවාගෙන තිබුණේය.

එම දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ මැද පෙළ කිසියම් පසුබෑමක් පෙන්නුම් කළේ ලකුණු 28 ක් ලකුණු පුවරුවට එකතු වන අතරවාරයේදී කඩුලු 5 ක් දැවී යෑම මීට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා පිලට යෑමට තිබූ අවස්ථාව අහිමි විය. එය තවත් විදියකින් කිවහොත් 36 වැනි පන්දුවාරය වන විට කඩුල්ලකට ලකුණු 171 ක් ලෙසින් සටහන්ව තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව හදිසියේම කඩුල 6 කට ලකුණු 199 ක් ලෙසින් සටහන් විය. ඒ අතරතුරදී ක්‍රියාත්මක වුණු රියාන් පරාග් කඩුලු 3 ක් සහ පටෙලන් සහ සුන්දර් එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

කෙසේ වෙතත් වෙනදාට වඩා තැන්පත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ඉවසිලි වන්තව පිතිකරණයේ නියැලුණේය. මිනිත්තු 120 කට ආසන්න කාලයක් කඩුල්ලේ රැදී සිටි කුසල් මෙන්ඩිස්, පන්දු 82 කට මුහුණ දී ලකුණු 54 ක් ලබා ගත්තේය. ඊට ඇතුළත් වූයේ හතරේ පහර 4 ක් පමණි. කමිදු මෙන්ඩිස්ට එකතු වුණු කුසල් මෙන්ඩිස් 7 වැනි කඩුල්ල වෙනුවෙන්  පන්දු 31 කදී එක් කරන ලද ලකුණු 36 ශ්‍රී ලංකා පිලට වැඩි වටිනාමක් එක් කළේය.

ශ්‍රී ලංකාව පන්දුවාර 50 කදී කඩුලු 7 ට ලකුණු 248 යි

පැතුම් නිස්සංක 45, අවිශ්ක ප්‍රනාන්දු 96, කුසල් මෙන්ඩිස් 59, චරිත් අසලංක 10, සදීර සමරවික්‍රම 00, ජනිත් ලියනගේ 08, දුනිත් වෙල්ලාලගේ 02, කමිදු මෙන්ඩිස් 23*, මහීෂ් තීක්ෂණ 03*, රියාන් පරාග් 54/3, කුල්දීප් යාදව් 36/1, වොෂිංටන් සුන්දර් 29/1, අක්සාර් පටෙල් 41/1, මොහොමඩ් ශිරාජ් 78/1)

ඉන්දියාව පන්දුවාර 26.1 කදී සියලු දෙනා දැවී ලකුණු 138 යි

රෝහිත් ෂර්මා 35, ශුබ්මන් ගිල් 06, විරාට් කෝලි 20, රිෂාබ් පාන්ට් 06, ශ්‍රේයාස් අයියර් 08, අක්සාර් පටෙලන් 02, රියන් පරාග් 15, ශිවම් ඩුබේ 09, වොෂිංටන් සුන්දර් 30, කුල්දීප් යාදව් 06, මොහොමඩ් ශිරාජ් 00, දුනිත් වෙල්ලාලගේ 27/5, ජෙෆ්රි වැන්ඉර්සි 34/2, මහීෂ් තීක්ෂණ 45/2

Back To Top