දෙවන ටෙස්ට් තරගයෙන් කැංගරුවන්ට පහසු ජයක්

බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයෙන් පහසු ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්.

තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඔවුන්ට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180ක් පමණයි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිතිෂ් රෙඩ්ඩි ලකුණු 44ක් රැස්කරද්දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් ලකුණු 48ට කඩුලු 6ක් දවාගැනීමට සමත් වුණා.

සිය පළමු ඉනීම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු ක්‍රීඩකයන් දැවී ලකුණු 337ක් රැස්කිරීමට සමත් වුණා. අගනා ඉනීමක් ක්‍රීඩා කළ ට්‍රැවිස් හෙඩ් පන්දු 141කදී හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 140ක් රැස්කිරීමට සමත් වද්දී මානස් ලබුශේන්ග් ලකුණු 64ක් රැස්කළා. පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් සිරාජ් කඩුලු 4 බැගින් දවාගත්තා.

ලකුණු 157ක් පසුපසින් සිය දෙවන ඉනීම ඇරඹූ ඉන්දීය පිතිකරුවන්ට මෙවරත් සාර්ථක වන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ තැබුවේ නැහැ. දෙවන ඉනීමේදී ද තරමක් සාර්ථක වූ එකම පිතිකරුවා වූ නිතිෂ් රෙඩ්ඩි ලකුණු 42ක් රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී පැට් කමින්ස් ලකුණු 57කට කඩුලු 5ක් දවාගැනීමට සමත් වුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් හිමිවූයේ ලකුණු 19ක පහසු ඉලක්කයක්. කිසිදු කඩුල්ලක් නොදැවී එම ඉලක්කය සම්පූර්ණ කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමි වද්දී තරගාවලිය තරග 1-1ක් ලෙසින් සම කිරීමට ද ඔවුන්ට හැකිවුණා.

Back To Top