දෙවන දිනයටද වර්ෂාව හරස් වෙයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුනේ ක්‍රිකට් ප්‍රේක්ශකයන්ගේ බලාපොරොත්තු සුන් කරමිනි. දිවා විවේකයෙන් පසු දිගින් දිගටම පතිත වූ දැඩි වර්ෂාව නිසා තරගය නවත්වන විට ශ්‍රී ලංකා කණ්ඩායම 144/6ක් ලෙස අසීරු අඩියක සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටියේය. දිගින් දිගටම වර්ෂාව පතිත වූ නිසා පස්වරු 3.32ට පමණ දිනය අත හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කල අතර, ඒවනවිට නොදැවී කඩුල්ලේ රැදී සිටියේ ධනංජය ද සිල්වා සහ ඩිල්රුවන් පෙරේරාය.

පසු දින රාත්‍රීයේ ඇද හැලුනු අධික වර්ෂාව සහා උදෑසන පතිත වර්ෂාව නිසා අද දින සුපුරුදු වෙලාවට තරගය ආරම්භ වීමට ප්‍රමාද වූ අතර තරගය 10.32ට ආරම්භ වූයේ පැයක පමණ ප්‍රමාදයකින් පසුවයි. අද දිනය ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 10ක්වත් එකතු වීමට මත්තෙන් දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස ඇන්ජලෝ මැතිව්ස් ට්‍රෙන්ට් බෝල්‍ට්ගේ පන්දුවකට දැවී ගියේ අපරීක්ෂාකාරි පුල් පහරක් එල්ලකිරීමට ගොසිනි.

පළමු තරගයේදී අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා හට මෙම තරගයේද සාර්ථක වීමට ඉඩ ලබා නොදුන් නවසීලන්ත පිල ඔහු මුහුණ දුන් සිව්වෙනි පන්දුවෙන්ම ඔහුව දවාගත්තේ ලකුණු රැස් කිරීමට ප්‍රථමවය. නිසි අයුරෙන් පන්දුව තෝරා බේරා ගැනීමට අපහසු වූ කුසල් ජනිත් පෙරේරා පන්දුව නිදැල්ලේ හැරීමට උත්සහයක් දැරුවද එය සාර්ථක නොවී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේය.

ධනංජය සිල්වා හා එක් වූ දිමුත් කරුණාරත්න ඉනිමට යම් ජීවයක් එක් කරමින් ටිම් සවුතී සහ ට්‍රෙන්ට් බෝල්ට් දියත් කල පීඩනය හමුවේ පරීක්ෂාකාරීව පහරදී ලකුණු 37ක සබඳතාවයක් ගොඩ නැගුවද එය නිමා වූයේ දිමුත් කරුණාරත්න ගේ කඩුල්ලත් සමගය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල දිමුත් අගනා ලකුණු 65ක් රැස් කල අතර වටිනා ඉනිම නතර කිරීමට ටිම් සවුතී සමත් විය.

පෙර පරිදි යලිත් වරක් නව පිතිකරුට පිටියේ ස්ථාවර වීමට නොදුන් නවසීලන්ත පන්දු යවන්නන් නිරෝශන් දික්වැල්ලටද කිසිදු ලකුණක් රැස් කිරීමට ඉඩ නොදුන්නේය. දිමුත් ගේ දැවී යාම මෙන්ම පිට ඉන්නෙන් ඉවතට දෝලනය වූ පන්දුව නිසි පරිදි කියවීමට නොහැකි වූ දික්වැල්ල කඩුලු රකින ක්‍රීඩක බී ජේ වොට්ලින් හට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.

ධනංජය ද සිල්වා ලකුණු 9දී ට්‍රෙන්ට් බෝල්ට් හට ලබා දුන් ඉතාම පහසු උඩ පන්දුව අත හැරීමෙන් ප්‍රයෝජන ලබා ගත් ඔහු දිනය අවසානයේ ලකුණු 32ක් නොදැවී ලබා සිටි අතට ඔහු හා ඩිල්රුවන් පෙරේරා ලකුණු 5ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 6 ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුතී අතට දෙක බැගින්ද කොලින් ඩී ග්‍රැන්ඩ්හොම් හා විලියම් සමර්විල් අතර එක බැගින්ද බෙදි ගියහ. කඩුලු 6න් එක් කඩුල්ලක් පමණක් දග පන්දු යවන්නෙක් ලබා ගැනීමට සමත් වීමෙන් මෙම තණතිල්ල ගාල්ල තණතිල්ල මෙන් දග පන්දු යවන්නන්ට නොව වේග පන්දු ‍යවන්නට උචිත බව පෙන්නුම් කරමිනි.

හෙට දිනයේදීද වර්ෂාව බලාපොරොත්තු විය හැකි අතර තවමත් තීරණයක් සහිත ටෙස්ට් තරගයකට ඉඩ කඩ ඇත. හෙට තරගයේ තුන්වන දිනයයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top