නවෝද් හා සොනාල් බංග්ලාදේශයට එරෙහිව ශතක වාර්තා කරයි

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශය සිය පළමු ඉනීමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී අනිච් මොල්ලා ලකුණු 147ක්, ශහදත් හුසේන් ලකුණු 93ක්, මහ්මුදුල් හසන් ලකුණු 66ක්, ප්‍රිටොම් කුමාර් ලකුණු 69ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එෂාන් මාලිංග ලකුණු 106කට කඩුලු 5ක් බිදහෙලීය.

තෙවන දිනය වූ අද දිනයේදී සිය පළමු ඉනීම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 72ක් අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කළේ ලකුණු 298කි. එහිදී අගනා ඉනීම් දෙකක් දැක්ගන්නට හැකි වූ අතර ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන පන්දු 188කදී හතරේ පහර 18ක් සමගින් ලකුණු 136ක් රැස්කිරීමට සමත් විය. අනෙක් ශතක ලාභියා බවට පත් වූ නායක සොනාල් දිනූෂ පන්දු 172කදී හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින් ලකුණු 106ක් රැස්කිරීමට සමත් විය. අහන් වික්‍රමසිංහ ලකුණු 23ක් රැස්කළ අතර සෙසු පිතිකරුවන් දක්ෂතා අතරට පිවිසීමට අපොහොසත් විය. හෙට තරගයේ අවසන් දිනයයි.

Back To Top