[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ ලකුණු 27කට කඩුලු පහක් දවා පසුව ලකුණු 52ක් රැස්කරමින් තුන් ඉරියව්වේම දැක්වූ විශිෂ්ට දක්ෂතා මත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට මෙවර 19න් පහළ ලෝක සූරතාව හිමිකර ගනු ඇතැයි අපේක්ෂා කළ කණ්ඩායමක් වන ඕස්ට්‍රේලියාව පන්දු 78ක්ම ඉතිරිව තිබියදී කඩුලු හතරකින් පරාජයට පත්කිරීමට අවස්ථාව උදාවිණි.
බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශාන්ත කිට්ස් දූපතේ පැවැති මේ තරගයේදී ඕස්ට්‍රේලියව පන්දු වාර 50 අවසානයේ සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 175ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පන්දුවාර 37ක් අවසානයේ ජයග්‍රහණය සඳහා ලකුණු 177ක් රැස්කළේ පන්දුවාර 37ක් තුළදීය.
වෙල්ලාලගේ ප්‍රථම තරගයේදී ද ස්කොට්ලන්තය සමග ලකුණු 28කට කඩුලු 5ක් දවාලු අතර මේ වන විට ඔහු තරග දෙකකදී ලකුණු 55කට කඩුලු 10ක් දවා මේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභීයා බවට පත්ව සිටී.
ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා 19න් පහළ ලෝක කුසලාන මේ තරගයේ ප්‍රථම පන්දුවාරයේ සිට තරගය නිමවන තෙක් සියලුම අංශයන්හි දක්ෂතා පෙන්වමින් ඉදිරියෙන් සිටියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමය.
ඕස්ට්‍රේලියාව මුලින් පන්දුවට පහරදෙන අවස්ථාවේ නායක දුනිත් වෙල්ලාලගේ (28/5) ට්‍රවීන් මැතිව් (32/2) සහ මතීෂ පතිරණ (34/2) ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ඕස්ට්‍රේලියානු පිතිකරුවනට කිසිදු අවස්ථාවක පන්දු වාරයකට සාමාන්‍ය ලකුණු පහේ සීමාව කරා හෝ පැමිණීමට අවස්ථාවක් උදානොවීය.
ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 175කට දවාලීමෙන් පසුව පන්දුවට පහරදීමට පැමිණි ශ්‍රී ලංකා යෞවනයෝ පළමු පන්දු වාරයේ සිටම ආක්‍රමණශීලි විලාශයක් පෙන්වමින් 37 වන පන්දුවාරය අවසානය වන විට තරගය පහසුවෙන්ම ජය ලැබීය.
ශ්‍රී ලංකා පස්වන කඩුල්ලට දුනිත් වෙල්ලාලගේ සහ අංජල බණ්ඩාර පන්දු 86කදී එක්කළ ලකුණු 70ක සබඳතාවය සහ හයවන කඩුල්ලට වෙල්ලාලගේ සහ රනුද සෝමරත්න පන්දු 55කදී එක්කළ ලකුණු 52ක සබඳතාවය යොවුන් ජයග්‍රහණය කඩිනම් කිරීමට සමත්විණි. අර්ධ ශතකයක් ලබා සිටි ශ්‍රී ලංකා නායකයා තිස්හත්වන පන්දු වාරයේ දෙවන පන්දුවට උඩ පන්දුවක් දී දැවී යන විට (171දී ) ලංකා ජයග්‍රහණයට තව අවශ්‍යව තිබුණේ ලකුණු පහක් පමණකි.
ලංකා පිතිකරුවන් අතර කැපී පෙනුණු දුනිත් වෙල්ලාලගේ පන්දු 71කදී හතරේ හතරක් හයේ පහරක් සමඟ ලකුණු 52ක්ද අංජල බණ්ඩාර ලකුණු 33ක්ද (පන්දු 47යි හතරේ දෙකයි) රනුද සෝමරත්න නොදැවී ලකුණු 32ක්ද (පන්දු 35යි හතරේ හතරයි) චමිඳු වික්‍රමසිංහ ලකුණු 19ක්ද (පන්දු 24යි හතරේ තුනයි) ක්‍රීඩාංගණය වර්ණවත් කළේ පිටිය පුරා දර්ශණීය පහර එල්ල කරමිනි.
මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම මෙතෙක් පැවැති තරග දෙකම ජයගෙන “ඩී” කොටසේ ලකුණු හතරක් ලබා ඉදිරියෙන්ම සිටින්නේ දැනටමත් ඊළඟ වටයට සුදුසුකම් ලබා ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග (21) පැවැත්වේ.
ශාන්ත කිට්ස් දූපතේ පැවැති මේ තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ විශිෂ්ට පන්දු යැවීම මත ඕස්ට්‍රේලියා ඉනිමේ ලකුණු රැස්කිරීමේ වේගය පන්දු වාරයකට ලකුණු 3.5ක් වැනි අඩුම සංඛ්‍යාවක් විණි.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ දැවීගිය පිතිකරුවන් දසදෙනාගෙන් අටදෙනෙකුම දැවීගියේ ලංකා දඟපන්දු යවන්නන්ගේ පන්දු යැවීම් හමුවේය. නායක වෙල්ලාලගේ ලබාගත් කඩුලු පහට අමතරව දකුණතින් පිට දඟපන්දු යවන 17 හැවිරිදි ට්‍රවීන් මැතිව් ලකුණු 32කට කඩුලු දෙකක්ද, දකුණතින් පිට දඟපන්දු යවන සදීෂ රාජපක්ෂ ලකුණු 30කට කඩුල්ලක්ද දවාලූවේ ඕස්ට්‍රේලියා පිතිකරුවනට විශාල ලකුණු සංඛ්‍යා කරායාමට කිසිදු අවස්ථාවක් නොදෙමිනි. දකුණතින් මදවේග පන්දු යවන මතීෂ පතිරණ පමණක් වේගපන්දුව යවන්නෙකු ලෙස කඩුලු දෙකක් දවාලූවේ ලකුණු 34ක් ලබාදීමෙනි.
පන්දුවාර 30 අවසාන වන විට ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් පස්දෙනාම මුළු ලකුණු 112ක් වන විට දැවී ගොස් සිටි හෙයින් ඔවුනට ඉතිරි පන්දුවාර විස්ස තුල අවසාන පිතිකරුවන් පස්දෙනාම දැවී රැස්කරගත හැකිවූයේ තවත් ලකුණු 63ක් පමණකි.
ශ්‍රී ලංකා පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමද උසස්ම මට්ටමක පැවැති අතර නායක දුනිත් වෙල්ලාලගේ එහිදී කණ්ඩායම මෙයහවූ ආකාරය විශිෂ්ට තත්ත්වයක පැවැතිණි. සීමිත පන්දුවාර තරගයක් වුවද අවසාන පන්දුවාර කිහිපයේදීද පන්දුවාරයකට සාමාන්‍ය ලකුණු තුනක් වැනි අඩු සංඛ්‍යාවකට සීමා කර ගැනීමට ලංකා පන්දු යවන්නන් හා රකින්නන් විශිෂ්ට කාර්යයක නියැළිණි.
ඕස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවාවු කැම්බල් කෙල්ලවේ පන්දු 77කදී හතරේ පහක් හා හයේ පහරක් සමඟ ලකුණු 54ක් රැස්කළත් සෙසු පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 22 ඉක්මවීමට අවස්ථාව උදානොවූයේ ලංකා කණ්ඩායමේ දක්ෂ පන්දු යැවීම සහ රැකීම හමුවේය.
ඕස්ට්‍රේලියා කණ්ඩායමේ විලියම් සල්ස්මන් ලකුණු 22ක් ද, නිවතන් රාධක්‍රිෂ්ණන් ලකුණු 21ක්ද රැස් කරමින් කණ්ඩායමේ දෙවැනි සහ තුන්වැනි වැඩිම ලකුණු ලාභීන් බවට පත්විණි.
ලකුණු විස්තරය
ඕස්ට්‍රේලියාව පන්දුවාර 50දී සියල්ල දැවී ලකුණු 175යි – (කැම්බල් කෙල්ලවේ 54, විලියම් සල්ස්මන් 22, නිවතන් රාධක්‍රිෂ්ණන් 21, දුනිත් වෙල්ලාලගේ 28/5, ට්‍රවීන් මැතිව් 32/2, මතීෂ පතිරණ 34/2, සදීෂ රාජපක්ෂ 30/1යි)
ශ්‍රී ලංකාව පන්දුවාර 37කදී කඩුලු 6ට 177 යි – (දුනිත් වෙල්ලාලගේ 52, අංජල බණ්ඩාර 33, රනුද සෝමරත්න නොදැවී 32, චමිඳු වික්‍රමසිංහ 19, ටොම් විට්නි 39/2යි, ජොසුවා ගානර් 21/2)[/vc_column_text][/vc_column][/vc_row]