[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවේ කළ අසාර්ථකම තරග සංචාරය නිමා කරමින් අද අළුයම් කාලයේ දිවයිනට ලගා විය..ක්‍රීඩකයන්ගේ දක්ශතාවයන් පිළිබඳව මතකයේ තබා ගත යුතු කිසිවක් එම සංචාරයේදී නොතිබුණද සුපුරුදු පරිදි එක් මතකයක් පමණක් නැවතත් අලුත්විය. ඒ ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු දිරි ගැන්වීමය.
ඇඩිලේඩ් හීදී පැවති ප්‍රථම තරගයෙන් ලද දරුණු පරාජයෙන් පසුව දෙවන තරගය පැවති බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණය සුපුරුදු පරිදි ශ්‍රී ලාංකිකයන් නැවතත් ආක්‍රමණය කොට තිබූ අතර ඔවුන් එලෙස ගැබා ක්‍රීඩාංගණයේ කදවුරු බැද තිබුණේ ලංකාවට ජයඝෝෂා නැගීමටය..ප්‍රේක්ෂකයන් සිය මව්බිම වෙනුවෙන් සිය සුපුරුදු යුතුකම ඉෂ්ඨ කළද ක්‍රීඩකයන් සිය වගකීම පැහැර හරිමින් දෙවන තරගයේ පරාජය වැළද ගත්තේ ඉතිහාසයේ ප්‍රථමවරට ඕස්ට්‍රේලියානු භූමියේදී විස්සයි විස්ස තරගාවලි පරාජයක් ශ්‍රී ලංකාවට හිමිකර දෙමිනි.
ඉන් අනතුරුව සිය අභිමානය රැකගැනීම වෙනුවෙන් තෙවන තරගයේදී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙල්බන් නුවරදී තරග වැදුණු අතර තරග ප්‍රතිඵලය පෙර පරිදි වූ අතර එම තරගයේ ලද පරාජයත් සමගින් සම්පූර්ණ තරගමාලා පරාජයක් ශ්‍රී ලංකාවට උරුම විය..
තෙවන තරගය ආරම්භ වීමට මත්තෙන්ම දරුණු තරගාවලි පරාජයකට ලක්ව තිබියදීත් බ්‍රිස්බේන් නුවර ප්‍රේක්ෂක සංඛ්‍යාව පරදා මෙල්බන් නුවර ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් එක් රොක්ව ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම පිළිබඳව ඔවුනට ස්තූතිය පිරිනැමිය යුතුය. විශාල මෙල්බන් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගරයේ අඩකට ආසන්න ප්‍රමාණයක හිමිකම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් සිය ග්‍රහණයට නතුකොට ගෙන තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායම දිරි ගැන්වීම් වෙනුවෙන්ය.
රූපවාහිනියෙන් තරග නැරඹූ අපට මෙම තරගය පැවැත්වෙන්නේ මෙල්බන් නුවර ද, ආර් . ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීද යන්න දෙවරක් සිතා බැලීමට තරම් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ධජ රැගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සියෙන් සැරසී මෙල්බන් ක්‍රීඩාංගණයට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනන්‍යතාවයක් වූ පපරේ නාදය රූපවාහිනීයෙන් අපට ඇසුණු අතර ” සුරාංගනී සුරාංගනීට මාළු ගෙනවා” ගීතය පපරේ නාදය සමගින් ඔවුන් හා අපද මුමුණමින් තරගය රූපවාහිනියෙන් නැරඹූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයේ රූපවාහිනියෙන් තරග නැරඹූ ශ්‍රී ලාංකික අපට නැවතත් සුන්දර මතකයන් රැසක් මතකයේ රැදවූ බ්‍රිස්බේන් , ඇඩිලේඩ් , මෙල්බන් සියලුම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හට හදවතින්ම ස්තූතිය පළ කළ යුතුය…මක්නිසාද එම ආදරණීය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් නොවන්නට කිසිදු මිහිරි මතකයක් මෙවර තරගාවලියේදී අපට ඉතිරි වන්නේ නැත..ඔවුන් ගතින් ශ්‍රී ලංකාවෙන් දුරස් වුවද සිතින් තවමත් ශ්‍රී ලංකාව සමගින් බව නැවත නැවතත් සනාථ කරන ලදි..
️
– චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]