ඕස්ට්‍රේලියානු දගපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් අද දිනයේදී සුවිශේෂී කඩයිමක් පසු කිරීමට සමත් වුණා. ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ කඩුලු 500 සීමාව පසු කිරීමට නේතන් ලයන්ට අද දිනයේදී හැකිවුණා. ඒ පාකිස්තාන කණ්ඩායම සමගින් පැවති පළමු ටෙස්ට් තරගයේ ඉනීම් දෙක තුළ දී කඩුලු 5ක් දවාගැනීමත් සමගිනි.
ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 500 සීමාව පසු කළ අටවන පන්දු යවන්නා මෙන්ම, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ එවන් දස්කමක් පෑ තෙවන පන්දු යවන්නා බවට පත් වීමට නේතන් ලයන්ට හැකිවුණා. තවද 2010 වසරෙන් පසුව ටෙස්ට් වරම් ලැබූ ක්‍රීඩකයන් අතුරින් කඩුලු 500ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත් වන්නටද නේතන් ලයන්ට හැකිවුණා.
පාකිස්තාන කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරයට අදාළ ව පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 360ක දැවැන්ත ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා. පර්ත් හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පළමු ඉනීම වෙනුවෙන් ලකුණු 487ක් රැස්කළා. එහිදී සිය අවසන් ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා කරන ඩේවිඩ් වෝනර් අගනා ලකුණු 164කින් ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව ශක්තිමත් කළා.පාකිස්තානය වෙනුවෙන් අමීර් ජමාල් කඩුලු 6ක් දවාගත්තා.
සිය පළමු ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායමට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 271ක් පමණයි. සිය දෙවන ඉනීම ඇරඹූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5කට ලකුණු 233ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව පාකිස්තානයට තරග ජයග්‍රහණය වෙනුවෙන් හිමි වූ ඉලක්කය ලකුණු 450ක්. නමුත් පාකිස්තාන දෙවන ඉනීම ලකුණු 89කට සීමා කරන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. එහිදී ස්ටාක් හා හැස්ල්වුඩ් කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් වුණා. ඒ අනුව තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ හිමිකරගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.