පරාජය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලයි

ඉන්දියාවට එරෙහිව ඊයේ පැවති තරගය පරාජයට පත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කනස්සල්ල සහ සිය කලකිරීම ප්‍රකාශ කොට ඇත. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ මෙම ගැටළු සැලකිල්ලට ගනිමින්, සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයෙන් සහ තේරීම් කමිටුවෙන් හදිසි සහ පුළුල් පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බවයි.

මෑතකාලීනව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත දක්‍ෂතා සහ කම්පන සහගත පරාජයන්, කණ්ඩායමේ සූදානම, උපාය මාර්ග සහ දක්‍ෂතා පිළිබඳව සැලකිය යුතු ප්‍රශ්න මතු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ එම නිවේදනයේ සදහන් වී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය කිසිවිටෙකත්,ක්‍රිකට් කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ රාජකාරි හා වගකීම් ප්‍රමිතියට සහ රෙගුලාසිවලට අනුව ඉටු කිරීමට බාධා කොට නොමැති බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගවීම, විනිවිදභාවය සහ විෂය කරුණු කඩිනමින් විසඳීමේ වැදගත්කම පිළිබඳව තරයේ විශ්වාස කරන බවත් නිවේදනයේ සදහන් වී ඇත.

සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයේ පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත්තේ කණ්ඩායමේ බලාපොරොත්තු වූ දක්ෂතා දැක්වීමට නොහැකි වීම පිටුපස ඇති හේතු තේරුම් ගැනීම සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීම අරමුණු කොට ගනිමින් බව එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කොට ඇත.

තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් එහි සදහන් කොට ඇත්තේ ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරන ලෙස පුහුණු කාර්ය මණ්ඩලයට සහ තේරීම් කමිටුවට දැනුම් දී ඇති බවයි. එම කරුණු වනුයේ,
උපාය මාර්ග සහ සූදානම: තරඟ අතරතුර කණ්ඩායමේ උපාය මාර්ග, සූදානම සහ උපායශීලී තීරණ පිළිබඳ අවබෝධයක් ලබා දීම.
කණ්ඩායම් තේරීම: එක් එක් තරගය සඳහා ක්‍රීඩක තේරීම් සාධාරණීකරණය කිරීම සහ ක්‍රීඩා කරන කණ්ඩායමේ සිදු කරන ලද ඕනෑම වෙනස්කමක් පැහැදිලි කිරීම.
ක්‍රීඩකයන්ගේ කාර්ය සාධනය: පුද්ගල සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය තක්සේරු කිරීම, ශක්තීන් සහ දුර්වලතා ඉස්මතු කිරීම සහ ඕනෑම ආබාධයක් හෝ යෝග්‍යතා ගැටළු විසඳීම.
පශ්චාත්-තරග විශ්ලේෂණය: පුහුණු කාර්‍යමණ්ඩලය විසින් පවත්වනු ලබන පශ්චාත් තරග විශ්ලේෂණ හුවමාරු කරගැනීම් සහ සහ අදාළ ප්‍රධාන පියවරයන් පැහැදිලි කිරීම.

පරාජයන් ක්‍රීඩාවේ කොටසක් බව තමන්ට වැටහෙන බවත් කෙසේ නමුත් මෑත කාලීනව ලද පරාජයන් අධෛර්යමත් කරවන ඒවා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත.

කණ්ඩායම තුළ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගැනීමට සහ අනාගත තරඟ වලදී වඩාත් තරඟකාරී ලෙසින් දක්ෂතා දැක්වීම සහතික කිරීම සඳහා නිර්මාණාත්මක සංවාදයක් ඇති කිරීම මෙහි අරමුණ වී ඇත.

2023 ලෝක කුසලාන තරඟාවලියේ ඉතිරි තරඟ සහ ඉදිරි තරඟවලදී කණ්ඩායමේ දක්ෂතා ඉහළ නැංවීමට දැඩි කැපවීමක් දක්වනු ඇති බවත්, පුහුණු කාර්ය මණ්ඩලයෙන් කඩිනම් සහ සවිස්තරාත්මක ප්‍රතිචාරයක් අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කොට ඇත.

Back To Top