පවන් රත්නායකගේ ප්‍රහාරාත්මක ඉනීම නැගී එන පිළට පහසු ජයක් උරුම කරයි

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අතර තෙවන එක්දින තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසිය වාසිය දිනූ අහන් වික්‍රමසිංහ පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළේය. ඒ අනුව පිටියට පිවිසෙන බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223ක් පමණයි

බංග්ලාදේශය වෙනුවෙන් ශහදත් හුසේන් පන්දු 75කදී හතරේ පහර හා හයේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 79ක් රැස්කිරීමට සමත් විය. නායක මහ්මදුල් හසන් ලකුණු 37ක් රැස්කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් චමිදු වික්‍රමසිංහ ලකුණු 33ට කඩුලු 3ක්ද අශේන් ඩැනියල් ලකුණු 25ට කඩුලු 3ක් ද දවාගැනීමට සමත් වද්දී විජයකාන්ත් වියස්කාන්ත් හා නිපුන් ප්‍රේමරත්න කඩුලු 2 බැගින් බිදහෙලීය.

ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 31 පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ පවන් රත්නායක පන්දු 56කදී හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 85ක් රැස්කිරීමට සමත් විය. නවෝද් පරණවිතාන ලකුණු 47ක්, අහන් වික්‍රමසිංහ ලකුණු 30ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

ජයග්‍රාහී ඉනීමක් ක්‍රීඩා කළ පවන්ගේ පියා මෙලොව හැරගොස් ඇති බව ඔහුට තරගයට පෙර දැනගන්නට ලැබී ඇත. නමුත් ඔහු තරගයට ක්‍රීඩා කිරීමට තීරණය කළේ තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සාර්ථක වනු දැකීම තම පියාගේ සිහිනය වූ නිසාවෙනි.

Back To Top