පාකිස්තානයට එරෙහි සිව්වන එක්දින තරගයේ ජය ශ්‍රී ලංකා යෞවනයන්ට

කරච්චි ජාතික බැංකු ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වන එක්‌දින තරගයෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු තුනක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සමත් වූයේ තරගාවලිය තරග 2-2ක් ලෙසින් සම තත්වයට රැගෙන එමිනි. වමතින් පිත්ත හසුරුවන පාකිස්තාන ආරම්භක පිතිකරු ෂාසායිබ් ඛාන් විශිෂ්ට අර්ධ ශතකයක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් පාන්නට සමත් වුවද, ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන මල්ෂ තරුපති කඩුලු 4 දවාගනිමින් පාකිස්තාන ඉනීම ලකුණු 186කට සීමා කරන්නට සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය. තරුපතිගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පාකිස්තාන ඉනීම 43.1කදී ලකුණු 186කට සීමා විය.මල්ෂ තරුපති ලකුණු 17කට කඩුලු 4ක් දවා ගනිමින් විශිෂ්ට දස්කම් පාද්දී ඔහුට සහය වූ දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක රුවිෂාන් පෙරේරා කඩුලු 2ක් දවා ගත්තේය.

ෂාසායිබ් ඛාන් පකිස්තාන යොවුන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් අතර, හතරේ පහර 4ක් සහ හ‍යේ පහර 3ක් ඇතුළුව පන්දු 111කින් ලකුණු 80ක් ලබා ගත්තේය. නායක සාද් බේග් පන්දු 53කින් ලකුණු 45ක් ලබා ගත් අතර හතරේ පහර 3ක් ඊට ඇතුළත් විය.

ඉලක්කය හඹා යාමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය අසාර්ථක වුවද, දිනුර කළුපහනගේ සහ රුසඳ ගමගේ ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් පන්දුවාර 40.4කදී කඩුලු 7ක් දැවී එම ඉලක්කය පසුකර යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. එහිදී දිනුර කලුපහන පන්දු 77කදී හතරේ පහර 5ක් හා හයේ පහරක් සමගින් ලකුණු 61ක් රැස්කළ අතර රුසද ගමගේ පන්දු 62කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 46 රැස්කළේය.

වේග පන්දු යවන්නන් වන අෆ්තාබ් කඩුලු 3ක්ද උබයිඩ් කඩුලු 2ක්ද දවාගැනීමට සමත් වුවද ඔවුන් පන්දුවෙන් දැරූ උත්සාහය ප්‍රමාණවත් නොවීය. දෙරට අතර පස්වැනි එක්දින තරගය ඔක්තෝබර් 31 වැනිදා මෙම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.

Back To Top