සංචාරක පාකිස්තාන කණ්ඩායම සමගින් පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 80කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් වුණා.
බුලවායෝහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්ඳුරැකීමට තීරණය කළා. රිචඩ් නගරාවා ලකුණු 48ක්ද ශිකන්ධර් රාසා ලකුණු 39ක්ද රැස්කරමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් වුණා.
සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40 පන්දු 2කදී සියලු දෙනා දැවී ලකුණු 205ක් රැස්කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී පකිස්තානය වෙනුවෙන් සල්මන් අගා සහ ෆයිසාල් අක්රම් කඩුලු 3ක් බැගින් දවාගත්තා.
ඉලක්කය හඹායාමට පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායමට වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 60ක් පමණයි. බ්ලෙසින් මුසරබානි, සීන් විලියම්ස් සහ ශිකන්ධර් රාසා කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.