පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය හිටපු ක්‍රීඩකයන් දෙදෙනකු යටතට

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස හිටපු ක්‍රීඩකයන් වන උමාර් ගුල් සහ සයීඩ් අජ්මාල් පත් කර තිබේ. ඒ අනුව උමාර් ගුල් වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇති අතර අජ්මාල් දඟ පන්දු අංශය මෙහෙයවනු ඇත.

උමාර් ගුල් ටෙස්ට් තරග 47කදී කඩුලු 163ක්, එක්දින තරග 130කදී කඩුලු 179ක් සහ විස්සයි20 තරග 60කදී කඩුල 85ක් දවාගත් අතර 2020දී සියලුම ආකාරයේ ක්‍රිකට් තරග වලින් විශ්‍රාම ගත්තේය. ඔහු ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුහුණුකරුවෙක් ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාවට යළිත් ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇත. ඔහු 2021 වසරේ පැවති පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ දී Quetta Gladiators හි පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පත් කරන ලද අතර 2022 දී ඇෆ්ගනිස්ථාන ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත.

41 හැවිරිදි ඔහු ඇෆ්ගනිස්තානයට එරෙහිව තරඟ තුනකින් යුත් T20I තරඟාවලියේදී සහ මෙම වසර මුලදී නවසීලන්තයට එරෙහිව පැවති තරඟාවලියේදී පාකිස්තාන පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළේය.

හිටපු අංක 1 එක්දින පන්දු යවන්නකු වන අජ්මාල් මීට පෙර ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කර ඇත. අජ්මාල් ටෙස්ට් තරග 35කදී කඩුලු 178ක්ද, එක්දින තරග 113කදී කඩුලු 184ක් සහ විස්සයි විස්ස තරග 64කදී කඩුලු 85ක් දවාගැනීමට සමත් වී ඇත.

ඔවුන් දෙදෙනාගේ භූමිකාව ආරම්භ වන්නේ දෙසැම්බර් 14 සිට ජනවාරි 7 දක්වා ඕස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්තානයේ ටෙස්ට් තරඟාවලිය සහ නවසීලන්තයට එරෙහිව ලබන වසරේ ජනවාරි 12 සිට 21 දක්වා T20I තරඟාවලිය සමඟිනි.

Back To Top