[vc_row][vc_column][vc_column_text]ගෙවී ගිය දින දෙක තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් පුහුණුවීම් වල නිරත ඉන්දීය තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා පුහුණු සංචිතයේ සියළුම ක්‍රීඩකයින් අද (14 දා) පස්වරුවේදී කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් වලට සහභාගිවූහ.
හෝරා 4 කට ආසන්නව ක්‍රියාත්මක වුණු එම පුහුණු සැසිය ප්‍රධාන වශයෙන් දැල් පුහුණුවීම් සහ පන්දු රැකීමේ පුහුණුවීම් වශයෙන් කොටස් දෙකක් යටතේ පැවැත්විණි. මෙහිදී දැක ගැනීමට හැකි වූ සුවිශේෂීම සිදුවීම වූයේ ගතවූ දින දෙකේදී ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුළු ජාතික කණ්ඩායමේ කටයුතු කරනු ලබන පුහුණුකරුවන් වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්, භෞත චිකිත්සක බ්‍රෙට් හැරප් සහ අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා යන මහත්වරුද සහභාගිව සිටීමය.
එංගලන්ත තරග සංචාරය සඳහා සහභාගි වුණු පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ පරිගණක දත්ත සැපයුම්කරු වන ටී.ජී. නිරෝෂන්ට කොවිඩ් ආසාධනයවීම හේතුවෙන් එම සංචාරයට සහභාගිවුණු පුහුණුකරුවන්ට සහ සහාය කාර්යය මණ්ඩලයට කණ්ඩායම සමඟ පුහුණුවීම් සඳහා වූ අවසරය හිමි නොවිණ. කෙසේ වෙතත් ගෙවී ගිය දින දෙකේදී පිතිකරණ පුහුණුකරු ලෙස කැඳවීම් ලද වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කරනු ලබන ධම්මික සුදර්ශන සහ දඟ පන්දු යැවීමේ පුහුණුකරු වන පියල් විජේතුංග යන මහත්වරුන් කණ්ඩායම සමඟ වූ පුහුණුවීම් වල නියැළුණහ.
එංගලන්ත තරග සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් 06 වැනිදා ශ්‍රී ලංකාවට ගොඩ බැසි නමුත් කොවිඩ් අවධානම කණ්ඩායම තුලට රිංගා තිබූ කණ්ඩායමේ පුහුණුවීම් දින කීපයකට කල් දැමීමට සිදුවිය. කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පළමු තරගය සඳහා තවත් දින 3 ක්ම ඉතිරිව තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආලෝක ධාරා මධ්‍යයේ පුහුණුවීම් වලට සහභාගිවීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]